විශේෂ තැන්පතු ගිණුමේ කාලය තවත් දීර්ඝ කිරීමට යයි

විදේශීය මුදල් මෙරටට ප්‍රේෂණය කිරීම උනන්දු කිරීම සඳහා රජයේ යෝජනාවකට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් මගින් ක්‍රියාත්මක ‘විශේෂ තැන්පතු ගිණුම්’ විවෘත කිරීමේ අවස්ථාව තවදුරටත් දීර්ඝ කිරිම සඳහා තීරණය වී ඇතැයි රජය පවසයි.

මෙම යෝජනාව පසුගියදා මුදල් අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඊට අනුමැතිය හිමිව තිබේ. විශේෂයෙන්ම මෙම ගිණුම් සඳහා මුදල් තැන්පත් කිරීමට තවදුරටත් කැමැත්තක් දක්වන පිරිස් උනන්දු කරවීම පිණිස මෙම කාලසීමාව දීර්ඝ කෙරේ.

2020 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම විශේෂ තැන්පත් ගිණුම් විවෘත කිරීම සඳහා අවස්ථාව උදා විය. එහිදී 2017 අංක 12 දරණ විදේශ විනිමය පනත යටතේ අදාළ විධිවිධාන සලස්වමින් එම නියෝග නිකුත් කරනු ලැබුණි.

එසේම එම ගිණුම්වල පවතින තැන්පතු තවදුරටත් රඳවා තබා ගැනීමේ අරමුණින් අතිරේක පොලියක් ගෙවීම සඳහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

මෙම විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරිම සඳහා ලබා දී තිබූ කාලසීමාව 2021 අප්‍රේල් මස 07 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබුණි. 2021 මාර්තු මාසය වනවිට එකී තැන්පතු ගිණුම්වල ඇමෙරිකානු ඩොලර් මිලියන 360.3ක මුදලක් තැන්පත් කරනු ලැබ තිබෙන බවත් රජය පවසයි.

Visits: 318