දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය ශ්‍රී ලංකාවේ ඉදිකිරීමේ සැලසුමක්?

දකුණු ආසියාවේ ඉදි කෙරෙන පළමු ඩිස්නිලන්තය මෙරටදී පිහිටුවීම සඳහා සැලසුම් සකස් කෙරී ඇතැයි වාර්තා වෙයි. දකුණු කොරියානු සහ මැලේසියානු ආයෝජනයක් ලෙස මෙම ඩිස්නිලන්තය පිහිටුවීමට යන බව පැවසෙයි.

දැනට බෝපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත විනෝද උද්‍යානය ආශ්‍රිතව මෙම ඩිස්නිලන්තය ඉදි කිරීම සැලසුම වී ඇතැයි එම ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කර සිටින මෙරට ඉදිකිරීම් සමාගමක් වන KCI Metrolink සමාගම පවසයි.

මෙහිදී අදාළ ආයෝජනය සිදු කරන කොරියානු සමාගම වන Korea Cavitaion Co. නම් සමාගමේ සභාපති බාඑක්ගෙයුම් කිම් සහ එහි මෙරට නියෝජිතයා වන KCI Metrolink හි සභාපති වන ආචාර්ය පාරිමාලා රාජෝ ඉසා මයිකල් එක්ව මෙම ඉදිකිරීම සඳහා අවශ්‍ය අක්කර 150ක පමණ භූමියක් කල්බදු පදනම මත ලබා ගැනීම සඳහා රජය සමගින් සාකච්ඡා කරමින් සිටින බවත් මේ පිළිබඳව වාර්තාවක් ගෙන එන ඩේලිනිවුස් පුවත්පත අද සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ආචාර්ය පාරිමාලා, “අපි මෙතැනදී මෙම ව්‍යාපෘතිය ඉදිකිරිම සඳහා ජාත්‍යන්තර අරමුදල් හරහා එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක මුදලක් රැස් කරගැනිමට බලාපොරොත්තු වෙනවා. මූලිකවම කොරියානු සහ මැලේසියානු ආයෝජකයන් මේ සඳහා මුදල් යොදවාවි. දැනටමත් එහි 30%ක සාර්ථකත්වයක් තිබෙනවා.” යනුවෙන් පවසා සිටියි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතය කළමනාකරණයේ දක්වන දියුණුවත්, ක්‍රමයෙන් පහත වැටෙමින් පවතින ආසාදිතයන් සංඛ්‍යාව සහ එන්නත්කරණ වැඩසටහන්ද මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවද ඇතුළුව වෙනත් රටවල සිටින බොහෝ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට හැකියාව ලැබී ඇතැයිද ඔහු පවසා සිටියි.

ඔහු පවසන ආකාරයට මෙම යෝජිත උද්‍යානය මැලේසියාවේ ජෙන්ටින්ග් හයිලන්ඩ් හා සමාන වෙයි. එසේම මේ සඳහා විශේෂිත දුම්රිය මාර්ගයක්ද ඉදිකිරීමට සැලසුම් කර ඇත. “මීට අමතරව තවත් ආකර්ෂණීය අංග රැසක්ම මේ වෙත සම්බන්ධ කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.” ආචාර්ය පාරිමිලා වැඩිදුරටත් පවසා ඇත.

එසේම මෙම යෝජිත උද්‍යානය කලාපයේ පිහිටි එකම ඩිස්නිලන්තයවීමත් සමගින්ම ඉන්දියාවද ඇතුළුව අනෙකුත් අසල්වැසි රාජ්‍යයන්ගෙන් ඒ සඳහා වන ඉල්ලුමද ඉහළ යනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙරට සංවර්ධන ව්‍යාපෘති රැසක් සඳහාම දායකත්වය ලබා දී සිටින සමාගමක් ලෙස KCI Metrolink සමාගම හඳුනාගෙන තිබේ. බොහෝමයක් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයන් යටතේ එම සමාගම සිය මෙහෙයුම් සිදු කරයි.

මේ වනවිට ප්‍රවාහන, හෝටල්, රෝහල් සහ වෛද්‍ය නගර, මිශ්‍ර සංවර්ධන සහ තේමා උද්‍යායන යනාදිය ඒ අතර වන බවත් එම සමාගම සිය වෙබ් අඩවියේ සඳහන් කර සිටියි. යෝජිත මීගමුව-කොළඹ අධිවේගී විදුලි දුම්රිය මාර්ග පද්ධතිය, රාගම පිහිටි යෝජිත වෛද්‍ය නගරය සහ බේරේ වැව ආශ්‍රිත ව්‍යාපාරික පන්තියේ හෝටලය යනාදී ව්‍යාපෘති ඒ අතර පවතී.

Visits: 2137