හැටන් නැෂනල් කොටස් තුළ සිදු වූ විශාල ගනුදෙනු දිනය සාර්ථක කරයි

අද (අප්‍රේල් 07දා) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේදීම ඉහළ ගැනුම්බරතාවකින් යුක්ත වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම හැටන් නැෂනල් බැංකුව සම්බන්ධයෙන් දේශීය ආයෝජකයන් අතර පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සිදු වූ ගනුදෙනු නිසා අද දිනයේදී බැංකු අංශය වෙත යම් ජවයක් හිමිව තිබුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,293.42ත් ඒකක 7,377.14ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,310.26ක් බවට පත්විය. එය ඊයේ (අප්‍රේල් 06) දිනයට සාපේක්ෂව ඒකක 29.99 ක් එනම් +0.41%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව හැටන් නැෂනල් බැංකුව, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, හේකාර්බ් පීඑල්සී, රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සහ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 39%ක් සඳහා දායකත්වය ලබා දී ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 78ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 83ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+6.8), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+4.0), හැටන් නැෂනල් බැංකුව HNB (+3.85), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (+3.55), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (+3.26), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-3.16), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-2.27), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-2.07), හේලීස් පීඑල්සී HAYL(-1.37), ඇම්බිඔන් හෝල්ඩිංග්ස් පීඑල්සී GREG (-1.31) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,954.94ක අගයක් ගත් අතර, එය ඊයේ (අප්‍රේල් 06) දිනයට සාපේක්ෂව ඒකක 20.46 ක එනම් +0.70%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.16ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අප්‍රේල් 06) වාර්තා කළ රුපියල් බිලියන 2.4ට සාපේක්ෂව 108% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.19ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 7.88%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 65.96ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 187.51ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 121.55කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 18.71ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 9.78 කි.

එසේම සම්පත් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 67.29ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,205ක් සඳහා බැංකු අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 43% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධණ භාණ්ඩ සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය යන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,139ක සහ රුපියල් මිලියන 849ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 450