සෙලාන් සහ සම්පත් බැංකු ණයකර නිකුතු වෙත අධිඉල්ලුමක්

බලපත්‍රලාභී වාණිජ බැංකු දෙකක් වන සෙලාන් බැංකුව සහ සම්පත් බැංකුව කොළඹ කොටස් හුවමාරුවෙහි සිදු කළ ණයකර කොටස් නිකුතු දෙක සඳහා අධිඉල්ලුමක් හිමි වූ බව එම බැංකු සඳහන් කරයි. පසුගිය අප්‍රේල් 05 වැනිදා සහ 06 වැනිදා මෙම ණයකර නිකුතු ආරම්භ විය.

ඒ අතරින් පසුගිය සඳුදා (05 වැනිදා) සිදු වුණු සෙලාන් බැංකුවෙහි රුපියල් 100ක වටිනාකමින් යුක්ත වූ කොටස් මිලියන 60 සඳහා, එහි සමස්ත වටිනාකම වන රුපියල් බිලියන 6ට වඩා ඉහළ වටිනාකමින් යුත් ඉල්ලුම්පත්‍ර හිමි වූ බවත් සඳහන් කරයි.

ඒ අනුව එදින පස්වරු 4.30 වන විට මෙම ණයකර නිකුතුව නැවැත් වීමට බැංකුව කටයුතු කර තිබේ.

මෙම ණයකර කල්පිරීමේ කාලය වසර පහක් වන අතර, එය A සහ B ලෙස කාණ්ඩ දෙකකට බෙදා තිබේ. ඉන් A කාණ්ඩයේ ණයකර සතු වාර්ෂික පොලී අනුපාතය 9.75%කි. එහිදී පොළී ගෙවීම වාර්ෂිකව සිදු කෙරෙන අතර වාර්ෂික සඵල පොලී අනුපාතිකය 9.75% කි. B කාණ්ඩයේ ණයකර සතු වාර්ෂික පොලී අනුපාතිකය 9.25%ක් වන අතර එහිදී කාර්තුමය ලෙස පොලිය ගෙවීම සිදු වෙයි. එහි සඵල පොලී අනුපාතිකය 9.58% කි.

ලබන අප්‍රේල් 27 වැනිදා දක්වා මෙම ණයකර මිලදී ගැනීම සඳහා විවෘතව තැබීම සෙලාන් බැංකුවේ සැලසුම විය

මේ අතර ඊයේ දිනයේදී (06 වැනිදා) සිදුවුණු සම්පත් බැංකුවෙහි රුපියල් බිලියන 6ක් වටිනා ණයකර කොටස් නිකුතුවටද අධිඉල්ලුමක් හිමි වූ බව එම බැංකුව පවසයි. මෙහිදීද රුපියල් 100 බැගින් වූ ණයකර කොටස් මිලියන 60ක් නිකුත් කිරීම සිදු විය. එහිදී පළමු අවස්ථාවේදී කොටස් මිලියන 10ක්ද දෙවැනි අවස්ථාවේදී කොටස් මිලියන 50ක්ද ලෙස මෙම නිකුතුව සිදු විය.

මෙම ණයකර නිකුතුවද ආරම්භ කර පැය කිහිපයක් ඇතුළතදී මිලදී ගැනීම සඳහා ඉල්ලුම්පත්‍ර හිමි වූ බව බැංකුව සඳහන් කරයි. ඒ අනුව එදින පස්වරු 4.30 වන විට මෙම නිකුතුව වසා දැමීමට බැංකුව පියවර ගෙන ඇත.

මෙම ණයකර නිකුතුව කල් පෙරෙන කාල සීමාව වසර 7ක් වන අතර ඒ සඳහා 9.0% ස්ථාවර පොළී අනුපාතයක් ලබාදෙයි. ඒ අනුව වාර්ෂික පොළී අනුපාතික මෙන්ම වාර්ෂික සඵල පොලී අනුපාතිකයත් 9.0%ක මට්ටමේ පවතී. මෙම පොලී ගෙවීම් වාර්ෂිකව සිදු කෙරෙයි.

ලබන අප්‍රේල් 28 වැනිදා දක්වා මෙම ණයකර මිලදී ගැනීම සඳහා විවෘතව තැබීම සම්පත් බැංකුවේ සැලසුම විය.

Visits: 272