බ්‍රැන්ඩික්ස්හි ඩො. මිලියන 50ක ණය අනුමැතිය පමා කරන්නැයි වෘත්තීය සමිති 6ක් IFC වෙතින් ඉල්ලලා

මෙරට මුල් පෙළේ නිමිඇඳුම් නිෂ්පාදන සහ අපනයන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් ලංකා ලිමිටඩ් සමාගම වෙත ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව (IFC) මගින් ලබා දීමට නියමිත ඩොලර් මිලියන 50ක ණය පහසුකම පමා කරන්නැයි මෙරට වෘත්තීය සමිති හයක් ඇතුළු කම්කරු සංවිධාන ලෝක බැංකුවෙන් ඉල්ලීමක් සිදු කර ඇතැයි වාර්තා වෙයි.

එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර පිහිටි ගෝලීය කම්කරු අධිකරණය – ජාත්‍යන්ත කම්කරු අයිතිවාසිකම් ෆෝරමය (GLI-ILRF) මගින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් තුළ මෙම කරුණු සඳහන්ව තිබෙන බව මේ පිළිබඳව අනාවරණයක් සිදු කරන ඩේලිමිරර් පුවත්පත පසුගියදා සඳහන් කර තිබුණි.

බ්‍රැන්ඩික්ස් ලංකා පෞද්ගලික සමාගම මගින් සිදු කර ඇතැයි පැවසෙන කම්කරු අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් ඇතුළුව කාරණා මෙහිදී එම ණය මුදල පමා කිරීම සඳහා හේතු ලෙස එම වෘත්තීය සමිති ඇතුළු කම්කරු සංවිධානය පෙන්වා දී තිබේ.

මෙහිදී ඩාබිඳු සාමූහිකය, මානව විමුක්තිය උදෙසා සංවර්ධනය (RED), ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමය (CMU), වාණිජ සහ කාර්මික සේවකයන්ගේ සංගමය (CIWU) සහ නැව්කරුවන්ගේ ජාතික සංගමය (NUSS) යන වෘත්තීය සමිති බ්‍රැන්ඩික්ස් සමාගම වෙනුවෙන් යෝජිත මෙම ණය සඳහා අනුමැතිය ලබා දීම ආපසු හරවන ලෙස මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවයෙන් ඉල්ලා තිබේ.

“බ්‍රැන්ඩික්ස් සමාගමේ සේවකයන්ද ඇතුළුව ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සහ සේවක සංවිධාන කිහිපයක් මෙම යෝජිත ණය සහනය අනුමත කිරීම සඳහා වන ඡන්ද විමසීම පමා කරන ලෙස ඉල්ලීම් සිදු කර තිබෙනවා.” ගෝලීය කම්කරු අධිකරණය – ජාත්‍යන්ත කම්කරු අයිතිවාසිකම් ෆෝරමය (GLI-ILRF) මගින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සටහන් වෙයි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා ඇගලුම් නිෂ්පාදන ක්ෂේත්‍රය වෙත එල්ල වූ බලපෑමත් සමගින්ම ඇගලුම් කර්මාන්තශාලා ආශ්‍රිත රැකියා සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් අවශ්‍ය සහායවීමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය සමායතනය මගින් මෙම ඩොලර් මිලියන 50ක දිගුකාලීන මූල්‍යමය පහසුකම ලබාදීමට යෝජනා කර තිබුණි. මෙම අරමුදල් මගින් රැකියා නියුක්තිය පවත්වාගෙන යාම, අපනයනය ආදායම් වර්ධනය මෙන්ම බ්‍රැන්ඩික්ස් සමාගමේ අවශ්‍යතාවන් වෙනුවෙන් ලබාදීමට නියමිතව තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින GLI-ILRF සංවිධානයත්, “ශ්‍රී ලංකාව තුළ මෙන්ම ගෝලීයවත් නිෂ්පාදන, සෞඛ්‍යසේවා, භාණ්ඩ ප්‍රවාහන ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් බොහෝ හාම්පුතුන් මෙම COVID-19 වසංගතය නිදහසට කාරණාවක් කරගෙන තිබෙනවා. මෙම තත්ත්වය පිළිබඳව පැහැදිලිවම අවබෝධයක් ලබාගනිමින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරීමට ලෝක බැංකු සමූහය පියවර ගත යුතුයි. ඒ හරහා සංවිධානගතවීමේ නිදහස ඇතුළුව ජාත්‍යන්තර සේවක ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සඳහා සුවිශේෂී පියවර ගත හැකියි.” යනුවෙන්ද සඳහන් කරයි.

වාර්තා සඳහන් කරන ආකාරයට බ්‍රැන්ඩික්ස් ලංකා පෞද්ගලික සමාගම වෙත ලබා දීම සඳහා මෙම යෝජිත මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවයේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම මාසයේ 25 වැනිදා හමු වී සාකච්ඡා කිරීමට නියමිතව ඇත. මේ වනවිට එම යෝජනාව ඇත්තේ ‘අනුමැතිය සඳහා සූදානමින්’ මට්ටමෙනි.

Visits: 303