සංචාරකයන් තුළ මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය ප්‍රවර්ධනයට වැඩපිළිවෙලක්

විදේශිකයින් වෙත ශ්‍රී ලංකාවේ උසස් වර්ගයේ මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමට අවශ්‍ය වෙලඳපළ දේශීය වශයෙන් ව්‍යාප්ත කිරිම තුළින් මෙරට මැණික් හා ස්වර්ණාභරණ වෙලඳපළ මෙන්ම සංචාරක කර්මාන්තයද ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පසුගියදා කොළඹ දී පැවති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සාමාජික හමුව අමතමින්  අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළඳපලේ ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ  සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඒ සමග ඇතිවී තිබෙන ව්‍යාජ මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපළ වෙනස් කොට ශ්‍රී ලංකාවට පැමිණ උසස් තත්වයේ ශ්‍රී ලාංකික මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමට  විදේශිකයින්ට අවස්ථාව සැලසීම මෙමගින් අපේක්ෂා කෙරෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, “වාර්ෂිකව පැමිණෙන සංචාරකයින්ගෙන් වියදම් කිරීමේ හැකියාව සහිත සංචාරකයින් පැමිණෙන්නේ ලක්ෂ 15ක පමණ පිරිසක්. ආසියාතික රටවලින් පැමිණෙන සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් හැරුණු කොට වියදම් කිරීමේ හැකියාවක් සහිත මෙම සංචාරකයින් පිරිස ඉලක්ක කර ගනිමින් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම මඟින් ඩොලර් මිලියන 500ක පමණ විදේශ ආදායමක් ලැබිය හැකි බවයි  ක්ෂේත්‍ර යේ අය පවසන්නේ.” යනුවෙන් පවසා තිබේ.

ඒ අනුව ගුවන්යානා සඳහා ගොඩවන සංචාරකයින්ට අපේ රටේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සම්බන්ධයෙන් සැකසුණු වීඩියෝ දර්ශන නැරඹීමේ අවස්ථාව ලබා දීම, ගුවන් තොටුපලේ සිට හෝටල් දක්වා යන මාර්ගවල වගේම හෝටල් පරිශ්‍ර තුල මෙවැනි වීඩියෝ සහ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමෙන්  වැඩි සංචාරක ආකර්ශනයක් මේ ක්ෂේත්‍රයට ලබා ගැනීමට හැකි බවත්, මැණික් හා ස්වර්ණාභරණ වෙළඳසැල් සංචාරක ප්‍රදේශ ඉලක්ක කරගෙන ආරම්භ කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

මෙහිදී තවදුරටත් ස්වර්ණාභරණ අධිකාරියේ සාමාජිකයන් අමතා ඇති අමාත්‍යවරයා, ඉදිරි වසර තුන ඇතුළත මෙරටට පැමිණෙන සංචාරකයින්ට අවශ්‍ය මැණික් හා ස්වර්ණාභරණ සැපයීම තුළින් රුපියල් ඩොලර් බිලියන 1 මුදලක් මෙරට ආර්ථකයට එකතු කිරීම පෙරදැරිව කටයුතු කරන ඔවුන්ගේ සේවය හා කැපවීම, අධිෂ්ඨානය අගය කරන බව පවසා තිබේ.

“අපේ රට කියන්නේ ඛණිජ සම්පත්වලින් සපිරිණු භුමියක්. මිල කළ හැකි මැණික් ගල් වර්ග 72ක් අපේ රටේ තිබෙනවා. ඩොලර් 100 සිට ඩොලර් ලක්ෂ තුන දක්වා වූ මුදලකට මේවා අලෙවි කිරීමේ හැකියාව අපිට තිබෙනවා.

චීනය, හොංකොං, ජපානය, සහ ගල්ෆ් කලාපිය රටවලත් අපේ රටේ මැණික් හා ස්වර්ණාභරණවලට හොද ඉල්ලුමක් පවතිනවා. ලංකාව හැරුණු විට මැණික් හා ස්වර්ණාභරණවලට වෙළෙඳපොලක් තියෙන්නේ තායිලන්තයේයි. අපි උත්සාහ කලොත් අපේ තැන තවදුරටත් ආරක්ෂා කර ගැනීමේ හැකියාව අපට තිබෙනවා. “

එහිදී කපා ඔප දමන මැණික් අපනයනය වෙනුවට නිමකරන ලද ස්වර්ණාභරණ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අවශ්‍ය නූතන අධීතාක්ෂණික උපකරණ ආනයන බදුවලින් නිදහස් කිරීමටත් වත්මන් රජයේ සෞභාග්‍ය යේ දැක්ම වැඩපිළිවෙල මගින් යෝජනා කර තිබෙන බවද අමාත්‍යවරයා පවසා ඇත.

“මීට අමතරව මැණික් පතල් වැනි දේ දැක බලා ගැනීමට අවස්ථාව ලබා දීම මගිනුත් හොද ආදායමක් ඉපයීමේ හැකියාව තිබෙන බව මම විශ්වාස කරනවා. සංචාරක ආකර්ශනය දිනාගත හැකි නව මාවත් සම්බන්ධයෙන් අපි නිතරම විමසිලිමත් විය යුතුය.” යනුවෙන්ද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Visits: 58