“2025දී ලංකාව Doing Business හි 25 වැනි තැනට ගෙන එනවා” – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

වසර 2025 වනවිට ශ්‍රී ලංකාව ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා වඩාත් පහසුකම් සහිත ලොව රටවල් දර්ශකයෙහි (Ease of Doing Business) 25 වැනි ස්ථානය දක්වා ඉහළට ගෙන ඒමට කටයුතු කරන බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

සිය ට්විටර් ගිණුම හරහා අදහස් දැක්වීමක් සිදු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

2010 වසරේදී ශ්‍රී ලංකාව මෙම දර්ශකයෙහි 105 වැනි ස්ථානයේ පසු වූ බවත්, 2014 ආරම්භ වන විට ශ්‍රී ලංකාව 85 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියි. එහෙත් 2019 වසර වනවිට ශ්‍රී ලංකාව 99 වැනි ස්ථානය වෙත ඇද වැටුණු බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව වසර 2025 සඳහා වන සිය ඉලක්කය වෙත ක්‍රියාකාරීව සහයෝගය දක්වන සියලු දෙනා වෙතම සිය කෘතඥතාව පළ කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

2011 වසරේදී ශ්‍රී ලංකාව මෙම මෙම Ease of Doing Business දර්ශකයෙහි 89 වැනි ස්ථානයේ පසුවිය. 2012 දී එය 83 වැනි සහ 2013 දී 85 වැනි ස්ථාන දක්වා පසුපසට වැටුණි. කෙසේ වෙතත් 2014 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාව 113 වැනි ස්ථානය දක්වා පහතට වැටුණි. අනතුරුව වසර හතරක් 100 වැනි ස්ථානයට ඉහළ මට්ටමේ ශ්‍රීලංකාව පැවැති අතර 2019 දී 99 වැනි ස්ථානයට පත් විය.

Visits: 840