විදුලිබල මණ්ඩලයේ රු.බි. 20ක් වටිනා ණයකර නිකුතුව 8 වැනිදා

ලංකා විදුලි බල මණ්ඩලය විසින් කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් 100ක වටිනාකමින් යුත් ණයකර කොටස් මිලියන 200ක් අලෙවි කිරිම සඳහා සඳහා සිදු කළ ඉල්ලීම කොළඹ කොටස් හුවමාරුව මගින් අනුමත කර ඇතැයි පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය වෙත අවශ්‍ය රුපියල් බිලියන 20ක ප්‍රාග්ධන සම්පාදනයක් වෙනුවෙන් මෙම ණයකර නිකුතුව සිදු කිරීම සැලසුම වී තිබේ. ලබන අප්‍රේල් 08 වැනිදා මෙම ණයකර කොටස් මිලදී ගැනීම සඳහා ආයෝජකයන් වෙත විවෘත කිරීමට නියමිතව ඇත.

මෙය ජ්‍යෙෂ්ඨ, අනාරක්ෂිත, ලැයිස්තුගත, නිදහස් කළ හැකි, ශ්‍රේණිගත ණයකර නිකුතුවක් ලෙස හඳුන්වා දී තිබේ. මෙහිදී එක් ණයකර කොටසක් රුපියල් 100 බැගින් මිල කෙරී ඇත. වසර පහක කාලයකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන මෙම ණයකර කොටස් නිකුතුවෙහි වාර්ෂික පොළී අනුපාතය 9.35% කි.

මූලික ණයකර නිකුතුවේදී ණයකර කොටස් මිලියන 100ක් දී නිකුත් කෙරෙන අතර ඒ හරහා රැස් කෙරෙන ප්‍රාග්ධනය රුපියල් බිලියන 10කි. යම් හෙයකින් මේ සඳහා අධිඉල්ලුමක් හිමි වුවහොත් තවත් ණයකර කොටස් මිලියන 100ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව සමස්ත ණයකර නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 20කි.

ලංකා විදුලි බල මණ්ඩලයේ මෙම ණයකර කොටස් නිකුතුව සම්බන්ධයෙන් අදහස් දක්වන කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, “ලංකා විදුලි බල මණ්ඩලය සිය ප්‍රාග්ධන අවශ්‍යතාවන් කොළඹ කොටස් හුවමාරුව හරහා සිදු කරගැනීමට ගත් තීරණය පිළිබඳව අප සතුටු වෙනවා. විශේෂයෙන්ම ප්‍රාග්ධනය රැස් කගැනීම සඳහා වන වඩාත් සාර්ථක සහ බලපෑම් සහගත ස්ථානයක් ලෙස පෞද්ගලික හා රාජ්‍ය ආයතන විසින් කොටස් වෙළඳපොල කෙරෙහි තබා ඇති විශ්වාසය මෙමගින් යළිත්වරක් පෙන්නුම් කරනවා.” යනුවෙන් පවසා සිටියි.

Visits: 633