Eco Spindles ලෝකයේ හොඳම ප්‍රතිචක්‍රීයකරණ සමාගම් 10 අතරට

BPPL හෝල්ඩින්ග්ස්හි පූර්ණ අනුබද්ධ සමාගමක් මෙන්ම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ශ‍්‍රී ලංකාවේ පුරෝගාමියකු වන Eco Spindles සමාගම ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ පදනමේ (Global Recycling Foundation) 2021 හොඳම #RecyclingHeroes දස දෙනා අතරට මෑතකදී ශ්‍රේණිගත විය.

දේශීය ප‍්‍රතිචක‍්‍රීයකරණයේ පුරෝගාමීයාට මෙම ජයග‍්‍රහණය ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ පදනම විසින් ලොව පුරා ප‍්‍රතිචක‍්‍රීයකරණ ක්ෂේත‍්‍රයේ නියැලී සිටින දියුණු සමාගම්, පුද්ගලයින් හා ප‍්‍රජාවන් අතරින් ඉතා සුපරීක්ෂාකාරීව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇති බැවිනි.

ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ ක්ෂේත‍්‍රය තුළ Eco Spindles සමඟ මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුලත් වූ අනෙක් සමාගම් නවය වූයේ රීන් වෝට්ස් (නෙදර්ලන්තය), ග‍්‍රීන් ඇක්සිස් (නයිජීරියාව), ඇබ්ටි හර්සි (සෝමාලියාව), බෙකාශි බ‍්‍රෑන් (Pty) Ltd (දකුණු අප‍්‍රිකාව), එකොඇක්ට් (ටැන්සානියාව), International WeLoveU පදනම (කොරියාව), ඞීගේ‍්‍රඞ් (ඩුබායි), එකො-ටේ‍්‍රන් (කැනඩාව) සහ Metal Shredder (හංගේරියාව) ය.

මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වන BPPL හෝල්ඩින්ග්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා ‘‘අපගේ වැඩපිළිවෙල සඳහා ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ලැබීම හා ලොව පුරා ප‍්‍රතිචක‍්‍රීයකරණ ක‍්‍රියාවලියේ සිටින තවත් ප‍්‍රමුඛ පෙළේ සමාගම් නවයක් අතරට ශ්‍රේණිගත වීම සැබවින්ම අපට සුවිශේෂී ජයග‍්‍රහණයක් ලෙස සඳහන් කළ හැකියි. පසුගිය වසරේදී PET ප්ලාස්ටික් බෝතල් මිලියන 81කට වැඩි ප‍්‍රමාණයක් අපට ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමට හැකියාව ලැබුනා. මේ වසරේදීත් එම ප‍්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි කිරීම අපගේ අරමුණයි.’’ යනුවෙන් පැවසුවේය.

Eco Spindles සමාගම ඉවත දමන PET බෝතල් එකතු කිරීම, ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම මෙන්ම රෙදිපිළි නිෂ්පාදකයින් සඳහා පොලියෙස්ටර් නූල් සහ ලොව පුරා සිටින බුරුසු නිපදවන්නන් සඳහා මොනෝෆිලමන්ට් නිෂ්පාදනය වැනි අගය එකතු කළ නිෂ්පාදන සිදු කිරීම සඳහා කැපී පෙනෙන කාර්යභාරයක් සිදු කරනු ලබයි.

පසුගිය වසරේදී ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ පදනම විසින් හොඳම #RecyclingHeroes සියදෙනා අතරට Eco Spindles නම් කළ අතර මේ වසරේදී ලබා ගත් මෙම සුවිශේෂී පිළිගැනීම මෙරට ප‍්‍රතිචක‍්‍රීයකරණයේ නියැලී සිටින ප‍්‍රජාව තිරසාරව සවිබලගැන්වීමට සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නවෝත්පාදනයන් හඳුන්වා දීමට සමාගම දරන ප‍්‍රයත්නවලට කදිම සාක්ෂියක් සපයයි.

‘‘දේශීය ප‍්‍රතිචක‍්‍රීයකරණ ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීම සහ රටේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ඉතා සාර්ථකව සිදු කිරීම සඳහා දිරිමත් කිරීම යන පොදු අරමුණු සපුරා ගැනීමට අප ඉදිරියටත් කටයුතු කරන අතරම අපගේ අඛණ්ඩ ප‍්‍රයත්නයන් හා නව සොයාගැනීම් සමඟින් නිසැකවම මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමටත් මෙම ක්ෂේත‍්‍රයේ ගෝලීය පුමුඛයෙකු ලෙස වඩා හොඳින් ඉස්මතු වීමටත් අපට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ පදනම ප‍්‍රතිචක‍්‍රීයකරණය ප‍්‍රවර්ධනය කිරීමට සහාය වන අතර පෘථිවියේ අනාගතය සුරක්ෂිත කිරීම උදෙසා එම පදනම ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය පිළිබඳව ලෝකයේ ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම්වල අවධානයට යොමු කරවයි. ඔවුන්ගේ #RecyclingHeroes තරගාවලිය පසුගිය වසරේ පෙබරවාරි මසදී ආරම්භ කරන ලද අතර ප‍්‍රතිචක‍්‍රීයකරණ වැඩසටහන් සමඟ මෙම අරමුණ වඩාත් සාර්ථක කරගැනීමට උපරිමයෙන් කටයුතු කරන තනි පුද්ගලයින්, ව්‍යාපාර හෝ ප‍්‍රජාවන් නම් කිරීමට ලොව පුරා සිටින පුද්ගලයින්ව එමගින් දිරිමත් කරනු ලබයි.

Eco Spindles සතුව ඔවුන්ට අවශ්‍ය PET ප්ලාස්ටික් බෝතල් එකතු කිරීම සඳහා 400 ක පමණ එකතුකරන්නන්ගෙන් සමන්විත විශාල ජාලයක් සිටී. ජාත්‍යන්තර ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනයට සමගාමීව සමාගම සිය  “Waste 2 Value” ජංගම දුරකතන යෙදවුම පසුගියදා එළිදැක්වු අතර එමගින් නිසියාකාරව කසළ බැහැර කිරීමට අදහස් කරන  ඕනෑම පුද්ගලයෙකුට දිවයින පුරා ඇති කසළ බඳුන් 300කට පමණ ඒ සඳහා පහසුවෙන් ප‍්‍රවේශ වීමට හැකියාව ලබා දෙයි.

Visits: 250