පිරාමාල් මිලදී ගනිමින් ඇමෙරිකාවේ බ්ලැක්ස්ටෝන් කැපිටල් මෙරට මෙහෙයුම් අරඹයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගමෙහි 56%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගැනීමටත් සමගින්ම  ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි බ්ලැක්ස්ටෝන් කැපිටල් ආයෝජන සමාගම ඊයේ දිනයේදි මෙරට තුළ සිය මෙහෙයුම් ආරම්භය සනිටුහන් කර තිබේ.

ඉන්දියාවේ පිරාමාල් සමූහයට අයත් මෙරට සමාගම වන පිරිමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගමෙහි කොටසක් රුපියල් 11.60 බැගින් මිලදී ගෙන බ්ලැක්ස්ටෝන් කැපිටල් සමාගම මෙම ගනුදෙනුව නිමා කර තිබේ. මෙහිදි සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 6.2 කි.

බ්ලැක්ටෝන් කැපිටල් සමාගම යටතේ පවතින ප්‍රිස්ටීන් ග්ලාස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම හරහා මෙම මිලදී ගැනීම සිදු වී තිබේ. දැනට මාස කිහිපයකට පෙර ඉන්දියාවේ පිරාමාල් ග්ලාස් සමාගමද එම සමාගම යටතට පත් විය.

මෙම නව අත්පත් කරගැනීමත් සමගින්ම බ්ලැක්ස්ටෝන් කැපිටල් සමාගම සිය හැකියාවන්යොදා ගනිමින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සිදු කරන වීදුරු නිෂ්පාදන අපනයනයන් ඉහළ නැංවීමට කටයුතු කරනු ඇතැයි වෙළෙඳ පොළ විචාරකයන්ගේ අදහස වී තිබේ. ඒ සඳහා වන සුවිශේෂී විශේෂඥතාවක් බ්ලැක්ස්ටෝන් සමාගමට තිබෙන බවද පැවසෙයි.

උදාහරණ ලෙස බ්ලැක්ස්ටෝන් සමාගම 2004 වසරේදී ජර්මනියේ ඖෂධ නිෂ්පාදන සඳහා අවශ්‍ය වීදුරු සහ ප්ලාස්ටික් ඇසුරුම් නිෂ්පාදන සමාගමක් වන Gerresheimer AG සමාගම අත්පත් කරගෙන ඇති අතර, පසුව වසර හතරක් ඇතුළතදී තිබූ තත්ත්වය මෙන් 7.5 ගුණයක ප්‍රතිලාභ හිමිවන තත්ත්වයට එය පත් කිරීමට සමත්ව ඇත.

ඉන්දියාවේ පිරාමාල් සමූහය විසින් එරට ගුජරාට් ග්ලාස් සමාගම අත්පත් කරගැනීමෙන් අනතුරුව 1984 වසරේදී පිරාමාල් ග්ලාස් සමූහය පිහිටවුණි. එසේම ශ්‍රී ලංකාවේ සිලෝන් ග්ලාස් සමාගම අත්පත් කරගෙන එම සමූහය ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාර වෙත පිවිසුණි. අද වනවිට එක්සත් ජනපදයේද පිරාමාල් ග්ලාස් කර්මාන්තශාලාවක් පිහිටා තිබේ. මෙම කර්මාන්තශාලා සතු දෛනික නිෂ්පාදන ධාරිතාව ටොන් 1,475 කි.

Visits: 778