දිනේෂ් වීරක්කොඩි HNB සභාපති ධුරයෙන් ඉවත් වෙයි හර්ෂ කබ්රාල් වැඩබලන සභාපති

හැටන් නැෂනල් බැංකුවෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ දිනේෂ් වීරක්කොඩි මහතා එම ධුරයෙන් ඉවත් වී ඇතැයි එම බැංකුව පවසයි. ඊයේ දිනයේදී බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය අතර පැවැත්වුණු විශේෂ හමුවකදී මෙම ඉවත් වීම පිළිබඳව තීරණය ගෙන තිබේ.

2018 වසරේදී වීරක්කොඩි මහතා හැටන් නැෂනල් බැංකුවෙහි සභාපතිවරයා ලෙස පත් කෙරිණි. ඒ වනවිටත් ඒ මහතා 2017 වසරේ සිට බැංකුවෙහි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය. පෞද්ගලික කාරණා මත මෙලෙස ධුරයෙන් ඉවත් වන බව දිනේෂ් වීරක්කොඩි මහතා පවසා තිබේ.

මීට පෙර වීරක්කොඩි මහතා කොමර්ෂල් බැංකුවෙහි සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. දිනේෂ් වීරක්කොඩි මහතා හිටපු අමාත්‍යවරයෙකු වන ජෝන් අමරතුංග මහතාගේ බෑණාද වෙයි.

ඒ අනුව හැටන් නැෂනල් බැංකුවෙහි වැඩබලන සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා පත් කෙරී ඇත. ඒ මහතා බැංකුවෙහි ස්වාධීන – විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි.

2021 මාර්තු 30 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව සභාපතිවරයා පත් කර ඇති අතර, මීළග සභාපතිවරයා පිළිබඳ අවසන් තීරණය ගන්නා තෙක් මෙම පත් කිරීමට වලංගු බවත් බැංකුව සඳහන් කරයි. එසේම මෙම පත් කිරිම සිදුකරන අවස්ථාව වනවිට ආචාර්ය කබ්රාල් මහතා සතුව බැංකුවෙහි කිසිදු කොටස් හිමිකමක් නොතිබූ බවත් පැවසෙයි.

Visits: 526