තුෂාරා විජේවර්ධන කොමර්ෂල් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

මෙරටදී මෙන්ම ජාත්‍යන්තරවද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ ඉහළ පිළිගැනීමකට ලක්ව සිටින කාන්තා ව්‍යවසායිකාවක වන තුෂාරා විජේවර්ධන කොමර්ෂල් බැංකුවෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස පත් කරගෙන ඇතැයි එම බැංකුව නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.

ඒ අනුව 2021 මාර්තු 31 වැනිදා සිට මෙම නව පත් කිරීම සිදු කර තිබේ. මෙහිදී ඇය විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස බැංකුව සමගින් සම්බන්ධ වන බව කොමර්ෂල් බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.

ඇය තාක්ෂණික ක්‍රමෝපාය පිළිබඳ උපදෙස් සහ විසඳුම් ලබා දෙන සමාගමක් වන Aventude (පෞද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය මෙන්ම එහි සම නිර්මාතෘවරියද වෙයි. මෙම සමාගම කොළඹ සහ ස්ටොක්හෝම්හි සිට මෙහෙයුම් සිදු කරයි. තාක්ෂණය යොදා ගනිමින් ව්‍යාපාර ගැටලු විසඳීම සම්බන්ධයෙන් එම සමාගම විශේෂඥතාවක් දක්වන බවත් සඳහන් කරයි.

මීට අමතරව ඇය ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා වන කාන්තා මණ්ඩලයේ (Women’s Chamber for Digital Sri Lanka) උප සභාපතිනිය ලෙසද කටයුතු කරයි. මෙම මණ්ඩලය කැබිනට් අනුමැතිය හිමි වූවක් වන අතර, ශ්‍රී ලාංකික කාන්තාවන් තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනය ලබා දෙමින් ඩිජිටල් ආර්ථිකයක් සඳහා ඔවුන්ගේ දායකත්වය ඉහළ නැංවීම වෙනුවෙන් පිහිටුවූවකි.

Visits: 1237