බ්‍රැන්ඩික්ස් සමාගමේ සේවක වැටුප් වසංගතයට පෙර තිබූ තත්ත්වයට

මෙරට විශාලතම ඇගලුම් නිෂ්පාදන අපනයනකරුවා වන බ්‍රැන්ඩික්ස් පෞද්ගලික සමාගම සිය සේවකයන්ගේ වැටුප් යළිත් COVID-19 වසංගතයට පෙර තිබූ තත්ත්වයට පත් කිරීමට තීරණය කර ඇතැයි පවසයි. බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් විසින් සේවකයන් වෙත යවන ලද අභ්‍යන්තර මෙමෝ පණිවුඩයක මේ පිළිබඳව සටහන්ව ඇත.

පසුගිය වසරේ මාර්තු මාසය මැදදී මෙරට වෙත එල්ල වූ COVID-19 වසංගතයේ බලපෑම හේතුවෙන් අප්‍රේල් මාසයේදි බ්‍රැන්ඩික්ස් සමාගමේ ඉහළ මට්ටමේ සේවකයන්ගේ වැටුප් යම් ප්‍රතිශත මට්ටමින් කප්පාදු කිරීමක් සිදු විය. මෙරට තුළ එවැනි තීරණයක් ගත් පළමු සමාගම් අතරද බ්‍රැන්ඩික්ස් සමාගම විය. වසංගතය නිසා සිය ව්‍යාපාර සහ අපනයන වෙත සිදු වූ හානිය වළක්වා ගැනීම මෙහි අරමුණ වී තිබුණි.

ඒ අනුව මෙම වසංගත තත්ත්වයෙන් පසුව ඉක්මණින්ම සිය සේවකයන්ගේ වැටුප් යළිත් ආපසු පෙර තිබූ  තත්ත්වයට පත් කිරීමට හැකි වූ බවත්, සමාගමේ සියලුම මට්ටමේ සේවකයන්ගේ වැටුප් පෙර තිබූ තත්ත්වයට පත් කරන බවත් මෙම මෙමෝ පණිවුඩයේ සටහන්ව ඇතැයි මේ පිළිබඳ අනාවරණයක් සිදු කරන ඩේලිඑෆ්ටී පුවත්පත පවසයි.

සමස්තයක් ලෙස ගත් විට බ්‍රැන්ඩික්ස් සමාගම අත වනවිට ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් කිහිපයකදීම සිය නිෂ්පාදන පරිශ්‍ර 28ක් පවත්වාගෙන යයි. ඒ අතරින් 21ක් ශ්‍රී ලංකාවේ පිහිටා ඇති අතර, හතරක් ඉන්දියාවේද බංග්ලාදේශයේ සහ කාම්බෝජයේ සහ හයිටියෙහි එක බැගින්ද ඒවා පිහිටා තිබේ. මෙම සමාගම් තුළ සේවය කරන ශ්‍රමබලකාය 60,400 කට අධිකය. ඒ අතරින් 35,000ක් පමණ පිරිසක් මෙරට තුළ සේවය කරන අතර, ඉන් 33,260ක් සේවක කාර්ය මණ්ඩලය වන අතර 1,740ක් විධායකයන්ය.

“එම අවස්ථාවේදී අප සියලු දෙනාම බියට පත් වුණා ලෝක ආර්ථිකය කඩා වැටේවි කියලා. ඒ වගේම සමාගමක් ලෙස අපේ රැකීමත් ප්‍රශ්නකාරී තත්ත්වයට පත් වුණා. මේ ගෙවුණු කාලය තුළදී බොහෝ දේ සිදු වුණා ඒ අතරින් අපේ ශක්තිය පිළිබඳ වන මගේ විශ්වාසය තවත් වැඩිදියුණු වුණා. ඊට අමතරව  අපගේ පරතරයන් පිළිබඳව මට හොඳින් දැනගන්නට ලැබුණා. අපි දන්න දෙයක් තමයි මේ COVID-19 නිසා අපි අපේ ව්‍යාපාර පවත්වාගෙන යන විදියට බොහෝ විදියටකට වෙනස් වුණා.” බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් මෙම අභ්‍යන්තර මෙමෝ පණිවුඩය තුළ සඳහන් කර ඇත.

මෙම වසංගතයට මුහුණ දීම සඳහා ජ්‍යෙෂ්ඨත්වය අනුව සිය වැටුප් සම්පූර්ණයෙන්ම හෝ දරුණු කප්පාදුවකට ලක් කිරීමට සිදු වුණු බවත් අෂ්රොෆ් ඕමාර් මහතා මෙහිදී පවසා තිබේ. එසේම රාජකාරි සඳහා නොපැමිණි පිරිසගේ වැටුප් 50%කින් කපා දැමුණු බවත්, රැකියාවට පැමිණීමට හැකි වූ පිරිසගේ දීමනා 2020 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කපා දැමුණු බවත් ඔහු මතක් කර දෙයි.

“පෞද්ගලික ආරක්ෂක උපාංග (PPE) වැනි සම්පුර්ණයෙන්ම නව නිෂ්පාදන වෙත අපගේ ව්‍යාපාරය යොමු කරන්න හැකි වීමත් සමගම අපි සැබැවින්ම වාසනාවන්ත වුණා. ඒ හරහා අපට කර්මාන්තශාලා පවත්වාගෙන යන්න හැකි වුණා. ඉන් අනතුරුව ඔක්තෝබර් මාසයේදී දෙවැනි වසංගත රැල්ල ඇති වුණා. අපගේ බොහෝ සේවකයන්ට මෙහිදී සිය පෞද්ගලික යහපැවැත්ම පිළිබඳ බොහෝ අභියෝගයන්ට මුහුණ දෙන්න සිදු වුණා. ඒ වගේම අපගැන තිබූ පිළිගැනීමත් හීන වී ගියා.” අෂ්රොෆ් ඕමාර් මහතා වැඩිදුරටත් පවසා ඇත.

එසේම මෙම වසංගත අවස්ථාවේදී තමන් සමගින් සිටි ප්‍රධාන ගනුදෙනුකරුවන් පිරිස වෙතද ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කර තිබේ. එහිදී ඔවුන් සිය භාණ්ඩ භාරදීමේ පමාවන් මෙන්ම ඇතැම් විට ගුවන් ප්‍රවාහන ගාස්තු පවා ගෙවමින් දායකත්වය ලබා දුන් බවත් ඔහු පවසා තිබේ. එවැනි ලෙංගතු ගනුදෙනුකරුවන් පිරිසක් සිටීමත් වාසනාවක් බවද ඔහු සඳහන් කර තිබේ.

Visits: 779