වින්ඩ්ෆෝර්ස් මූලික මහජන කොටස් නිකුතුවේ අධිඉල්ලුම එහි වටිනාකමින් අට ගුණයක්

මෙරට ක්‍රියාත්මක මුල් පෙළේ පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පෞද්ගලික සමාගම මගින් පසුගිය මාර්තු 24 වැනිදා කොළඹ කොටස් හුවමාරු තුළ සිදුකළ මූලික මහජන කොටස් නිකුතුව සඳහා ලැබුණු ඉල්ලුම් පත්‍ර ප්‍රමාණය 1,700කට ආසන්න බව මූලික ගණන්බැලීම් අනුව සඳහන්ව තිබේ.

ඒ අනුව මෙම සමස්ත ඉල්ලුම්පත්‍රවල වටිනාකම රුපියල් බිලියන 25.7කට ආසන්න වන බවත්, එය මෙම නිකුතුව හරහා සමාගම රැස් කරගැනීමට බලාපොරොත්තු වූ සමස්ත මුදල වන රුපියල් බිලියන 3.24 මෙන් අටගුණයක රැස්කිරීමක් බවද පැවසෙයි.

මේ තත්ත්වයත් සමගින්ම වින්ඩ්ෆෝර්ස් පෞද්ගලික සමාගම සිදු කළ මෙම මූලික මහජන කොටස් නිකුතුවේ මිලදී ගැනීම කොළඹ කොටස් හුවමාරුව තුළ වසර නවයකට පසුව සිදු වුණු දැවැන්තම ඉල්ලුම බවටද පත්ව තිබෙන බව මේ පිළිබඳ වාර්තාවක් ගෙන එන ඩේලිඑෆ්ටී පුවත් පත පවසයි.

විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් පවතින උනන්දුව මෙන්ම, මෙම ක්ෂේත්‍රය සඳහා රජය ලබා දී තිබෙන බදු සහන ඇතුළු කාරණා මෙම ඉල්ලුම ඉහළයාමට හේතුව බවද පුවත්පත සඳහන් කරයි.

එහිදී තවමත් වින්ඩ්ෆෝර්ස් පෞද්ගලික සමාගම මගින් නිකුතුව සඳහා ලැබුණු අධිඉල්ලුමෙහි අවසන් වටිනාකම් පිළිබඳව මෙතෙක් අනාවරණය කර නොමැති බවත්, දැනට ලැබී ඇති ඉල්ලුම්පත්‍ර අනුව මෙම වටිනාකම සටහන් වන බවත් පුවත්පත වැඩිදුරටත් පවසා සිටියි.

මීට පෙර කොළඹ කොටස් හුවමාරුව තුළ සිදුවුණු විශාලතම මහජන කොටස් නිකුතුව ලෙස සඳහන් වන්නේ 2012 වසරේ සිදු වුණු පීපල්ස් ලීසිං සමාගමේ නිකුතුවයි. එහිදී රැස්කෙරුණු සමස්ත මුදල රුපියල් බිලියන 7කි.

වින්ඩ්ෆෝර්ස් පෞද්ගලික සමාගම සිදු කළ මෙම මූලික මහජන කොටස් නිකුතුවේදී සමාගමේ 15%ක කොටස් ප්‍රතිශතයක් එනම් නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 202,615,341ක් නිකුත් කිරිම සිදු විය. එහිදී සෑම කොටසක්ම රුපියල් 16 බැගින් මිල කෙරිණි.

මෙම මූලික මහජන කොටස් නිකුතුව පසුගිය මාර්තු 24 වැනිදා සිට ලබන අප්‍රේල් 02 වැනිදා දක්වා ක්‍රියාත්මකවීමට නියමිතව තිබුණත් එය එදින අවසන් කිරීමට තීරණය විය. ඒ අනුව මෙම මිලදි ගත්කොටස් බෙදීම හෙට දිනයේදී සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඩේලිඑෆ්ටී පුවත්පත පවසයි.

සමාගම මීට පෙර සඳහන්  කර තිබූ ආකාරයට මෙම මූලික මහජන කොටස් නිකුතුව වෙත අධි ඉල්ලුමක් ඇති වුවහොත් මෙම කොටස් බෙදීම යටතේ 30%ක් තනි පුද්ගල ආයෝජකයන්ටත්, 10%ක් ඒකක භාරවෙතත්, 7.5%ක් සමූහ ආයෝජකයන්ට සහ අධ්‍යක්ෂවරුන්ටත් සහ 52.5%ක් තනිපුද්ගල නොවන ආයෝජකයන්ටත් ලබා දීම සැලසුම වී තිබී ඇත.

අද වන විට මෙම වින්ඩ්ෆෝර්ස් (පෞද්) සමාගමේ වැඩිම කොටස් හිමිකරුවා වන්නේ අක්බාර් බ්‍රදර්ස් සමාගමයි. එය ප්‍රතිශතයක් ලෙස 38.86%කි. හයිද්‍රාමනී හෝල්ඩිංග් සමාගම සතුව 27%ක කොටස් හිමිකමක් පවතී. තොරතුරු තාක්ෂණික නිෂ්පාදන සැපයීම සිදු කරන ඩිබග් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම සතුව තවත් 14.29%ක කොටස් ප්‍රතිශතයක් ඇත. ඇසුරුම් නිෂ්පාදනයේ යෙදෙන ස්ටාර් පැක් ඉන්වෙස්ට්මන්ට් සමාගම සතු කොටස් ප්‍රතිශතය 9.36%කි. මීට අමතරව MAS හෝල්ඩිංග්ස් සමාගමත් සිය පරිපාලිත සමාගමක් වන අමාලියා (පෞද්) සමාගම හරහා එහි 3.89% ක කොටස් ප්‍රතිශතයකට හිමිකම් කියයි.

මෙම යෝජිත මූලික මහජන කොටස් නිකුතුවෙන් අනතුරුව රැස් කරගන්නා රුපියල් බිලියන 3.2ක මුදලින් රුපියල් මිලියන 927ක් මෙරට තුළ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් සඳහාත් රුපියල් බිලියන 1.38ක මුදලක් සූර්ය විදුලිබල ව්‍යාපෘතියක් සඳහාත් යෙදවීමට සැලසුම වී තිබේ. එසේම ඉතිරි රුපියල් මිලියන 932ක මුදල අනාගතයේ දියත් කෙරෙන ව්‍යාපෘති වෙනුවෙන් රඳවා තබා ගැනීමත් අපේක්ෂාව වී ඇතැයිද සමාගම මීට පෙර අනාවරණය කර තිබුණි.

Visits: 557