බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය සහ නියාමනය සඳහා විධිමත් ක්‍රමවේදයක්

ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය සදහා සකස් කරන ලද නියාමන රාමුව එය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත නිල වශයෙන්  භාර දීම අද දින වෙළඳ අමාත්‍යංශ පරිශ්‍රයේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදු වී තිබේ.

ගුදම් පහසුකම්, බහලූම් අංගන, වරාය සැපයුම් පහසුකම්, බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන, ගරු රාජ්‍ය අමාත්‍ය, ජයන්ත සමරවීරමැතිතුමාට මෙන්ම  වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් යූ. ඩී. සී. ජයලාල් මහතාට සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතාට නියාමන රාමුව නිල වශයෙන් භාරදීම වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් සිදුව තිබේ.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය ගුණවර්ධන මහතා කියා සිටියේ රටේ අපනයන ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන විවිධාංගීකරණය, වෙළඳපල විවිධාංගීකරණය සහ නව්‍ය නිෂ්පාදන හඳුන්වාදීම මත උපාය මාර්ගය අනුගමනය කිරීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වන අතර එමඟින් බෝට්ටු කර්මාන්තය වැනි නැගී එන අංශයක් ඉහළ මට්ටමකට ගෙනයා හැකි බවයි.

මේ අතර, මෙම කර්මාන්තය පිළිබඳව කිසිවෙකු අවධානය යොමු නොකරන අවස්ථාවක බෝට්ටු ගොඩනැඟීමේ කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා උපාය මාර්ගික රාමුවක් සකස් කිරීම පිළිබඳව බෝට්ටු හා නාවික කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට සිය කෘතවේදීතාවය පළ කළේය.

“බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය, යාත්‍රා කිරීම සහ නාවික කටයුතු නියාමනය කිරීම සහ ශ්‍රී ලංකා මුහුදට වැඩි විදේශීය යාත්‍රා ආකර්ෂණය කර ගැනීම සහවටිනාකම් දාමයේ සියලුම කොටස් ඇතුළත් වන පරිදි නිසි ලියාපදිංචි කිරීමේ රාමුවක් සකස්කිරීම කාලීන අවශ්‍යතාවයක් සම්පූර්ණකිරීමක් බවඅපනයන සංවර්ධන මණ්ඩලයෙහි සභාපති සුරේෂ් ද මෙල් මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය ප්‍රමුඛ කර්මාන්තයක් ලෙස හඳුනාගෙන ඇති අතර එය අන්තර්ජාතික වෙළඳපොල වෙත විවිධාකාර නිෂ්පාදන හා සේවාවන් සපයන මෙරට නැගී එන කර්මාන්තයක් වශයෙන් ද හඳුනාගෙන ඇත. මෙම අංශය 2018-2022 වර්ෂයන්ට අදාළ ජාතික අපනයන උපායමාර්ගයේ ප්‍රධාන අංශයක් ලෙස හඳුනාගෙන තිබේ.

මෙම අවස්ථාව සදහා වෙළෙද අමාත්‍යංශයේ ලේඛම්, ජේ.එම්. භද්‍රාණි. ජයවර්ධන මහත්මිය, ගුදම් පහසුකම්, බහලූම් අංගන, වරාය සැපයුම් පහසුකම්, බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේඛම්, ඩී.ඩී. මාතරආරච්චි, වරාය හා නාවික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.එන්.කේ.සෝමරත්න, වෙළඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කාන්ති ගුණවර්ධන, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, සුරේෂ් ද මෙල්, අධ්‍යක්ෂ ජනරාල් චිත්‍රාංජලී දිසානායක මෙනවිය ඇතුළු වෙළඳ නැව් මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. ඩබ්ලිව්. සෙනෙවිරත්න, සීමාසහිත නීල් ප්‍රනාන්දු සහ සමාගමෙහි පරිපාලන අධ්‍යක්ෂ කපිල සුමනපාල, දනුෂා සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ ජී. එස්. ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් මෙන්ම වෙළඳ අමාත්‍යංශයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සහභාගී වී තිබේ.

Visits: 68