පවුල් හිමිකාරීත්වය සහිත සමාගම් 2ක් CSE හි ලැයිස්තුගතවීමට සාකච්ඡා

මෙරට තුළ ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ පවුල් හිමිකාරීත්වය සහිත සමාගම් දෙකක් කොළඹ කොටස් හුවමාරුව තුළ සිය සමාගම් ලැයිස්තුගත කිරීම සඳහා සූදානමින් සිටින බව වාර්තා පවසයි. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹකොටස් හුවමාරුව පසුගියදා සිදු කළ ආරාධනාවෙන් අනතුරුව එම සමාගම් මේ පිළිබඳ අවධානය යොමු කර තිබේ.

ඒ අනුව, මෙරට ක්‍රියාත්මක මුල් පෙළේ දේපළ වෙළෙඳ සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ් සහ දේශීය තීන්ත සමාගමක් වන JAT හෝල්ඩිංග්ස් යන සමාගම් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සඳහා වන සාකච්ඡා පවත්වමින් සිටින බව මේ පිළිබඳ අනාවරණයක් කරමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත අද පවසා සිටියි.

එසේම තවත් සමාගම් රැසක්ම මෙලෙස කොටස් හුවමාරුවෙහි මහජන කොටස් නිකුතුවක් සිදු කිරීම හරහා තමන්ට හිමිවන නියාමන රෙගුලාසි සහ බදු ප්‍රතිලාභ පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බවත් පුවත්පත් පවසයි.

පසුගියදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී සංවිධානයවූ වැඩසටහනකදී ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධානීන් එක්ව පවුල් හිමිකාරීත්වය සහිත සමාගම් වෙත මෙම ලැයිස්තුගතවීම හරහා ඇති වන වාසි පිළිබඳව අවබෝධය ලබාදී තිබුණි.

මෙම වැඩසටහන සඳහා මෙරට ක්‍රියාත්මක පවුල් හිමිකාරීත්වය සහිත ප්‍රධාන පෙළේ සමාගම් 70කට වැඩි ප්‍රමාණයක ප්‍රධානීන් සහ නියෝජිතයන් සහභාගි වී සිටි බවත් පැවසෙයි.

මේ අතර මෙරට මුල් පෙළේ පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පෞද්ගලික සමාගමත් සිය සමාගමේ කොටස් අතරින් 15%ක් කොළඹ කොටස් හුවමාරුව තුළ මහජන කොටස් නිකුතුවක් ලෙස නිකුත් කළ අතර ඒ සඳහා පැය කිහිපයක් තුළ අධිඉල්ලුමක් ලැබුණි. මේ වසරේ සිදු වූ පළමු මූලික මහජන කොටස් නිකුතුව වූ එහි වටිනාකම රුපියල් බිලියන 3.24ක් විය.

Visits: 1201