ඛනිජවැලි මෙ.ටොන් 85,000ක් අලෙවිය පිළිබද වහාම විමර්ශනයක්

පූර්ණ වශයෙන් රජය සතු සමාගමක් වන ‘ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්’ ආයතනය විසින් ඉල්මනයිට් ඛනිජවැලි ටොන් එකක් සදහා ඇ.ඩො 165ක මිලක් ඉදිරිපත් කළ ගැණුම්කරු වෙනුවට මිල ගණන් ලැයිස්තුවේ තෙවන තැන සිටි ඉල්ලුම්කරුට ටොන් එකක් ඇ.ඩො 147 කට ඉල්මනයිට් ඛනිජවැලි මෙට්රික් ටොන් 85,000ක ප්‍රමාණයක් මිලදී ගැනීම සදහා ටෙන්ඩරය ලබා දීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාට පසුගියදා දැනුම් දී තිබේ.

කෝප් කමිටු සභාපතිවරයා මේ බව පවසා සිටියේ පසුගියදා පැවති ‘ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිඩට්’ ආයතනයේ කාර්යසාධනය විමර්ශනය කිරීමේ කෝප් කමිටු රැස්වීමේදීය.

මෙම විකිණීමට අදාළ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය මගින් පත් කළ ටෙන්ඩර් අනුකමිටුවකින් ලබා දී ඇති බවත් ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද ලංකා මිනරල් සෑන්ඩ් ආයතනයේ නිලධාරීහු ප්‍රකාශ කළ අතර මේ පිළිබදව සිය අවධානය යොමු කළ කෝප් කමිටු සාමාජිකයන් ප්‍රකාශ කළේ මිනරල් සෑන්ඩ් ආයතනයේ නිලධාරීන් විසින් අමාත්‍ය මණ්ඩලය පවා නොමග යැවීමට කටයුතු කර ඇති බව නිරීක්ෂණය වන බවද සඳහන් වෙයි.

තවද මේවන විට ඉල්මනයිට් මෙට්‍රික් ටොන් එකක මිල ඇ.ඩො 240 කට ආසන්න වන බවත් මෙහිදී හෙළිවිය. 2018 සහ 2019 වර්ෂවල ලබා ඇති මුලු අලෙවිය සාපේක්ෂව 2020 වසරේ අලෙවිය අඩු වීම සම්බන්ධව මෙහිදී කමිටුවේ අවධානය යොමුවූ අතර මෙහිදී අනාවරණය වූයේ 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී ගැනුම්කරුවෙකුට අලෙවි කළ මෙම ඉල්මනයිට් ඛනිජවැලි මෙට්රික් ටොන් 85,000ක ප්‍රමාණය පුල්මුඩේ නිධියේ ගබඩාකර තිබීම නිසා ආයතනයට තවදුරටත් ඛනිජවැලි ගබඩා කිරීමට ඉඩපහසුකම් අවම වීමෙන් පාඩුවක් සිදුවන බවයි.

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිඩට් ආයතනයේ බලධාරීන් පවසා සිටියේ පවතින කොවිඩ් තත්ත්වය මෙම තොගය ඉවත් කර ගැනීම සදහා ඇති කාලය දීර්ඝ කළ බවයි. මෙම තොගයෙන් මුදල් ගෙවා ඇත්තේ මෙට්රික් ටොන් 65,000 ක් සදහා පමණක් බවත් තවත් මෙට්රික් ටොන් 20,000 ක් සදහා මුදල් අය කර ගැනීමට නියමිත බවත් මෙහිදී අනාවරණය විය.

මේ පිළිබදව විමර්ශනය කොට මසක් තුළ වහාම වාර්තාවක් ලබා දෙන ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාට කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.එසේම මෙම ඉල්මනයිට් තොගය කඩිනමින් ඉවත්කරගැනීම සහ ඊට අදාළ හිග මුදල අය කරගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙස ද පැවසූ කමිටු සභාපතිවරයා මෙලෙස අමාත්‍ය මණ්ඩලය පත් කළ අනුකමිටුවක් මගින් මෙලෙස ටෙන්ඩර් ප්‍රදානය කළ ද මෙවැනි අවස්ථාවලදී මීටවඩා වගකීමකින් කරුණු සොයාබලා කටයුතු කළ යුතු බව අවධාරණය කෙරිණි.

තවද මේ පිළිබද වහාම විමර්ශනය කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් කමිටු සභාපතිවරයා එම නිගමන සහ කෝප් කමිටු නිර්දේශ අනුව මීට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාට යොමුකරන ලෙස නිර්දේශ කළේය.

මෙම ව්‍යාපෘතිය ඛනිජවැලි ගවේශනය සදහා රටට වාසිදායක ලෙස යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද සොයාබලා ඉදිරි කටයුතු සිදුකරන ලෙස පරිසර අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ මහතාට සහ කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර, ඉරාන් වික්‍රමරත්න ,එස් රාසමානික්කම්, ප්‍රේමනාත් සී දොලවත්ත සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව තිබී ඇත.

Visits: 88