කාන්තා දිනය වෙනුවෙන් අලියාන්ස් ලංකා කාන්තා සේවා නියුක්තිකයන් අගයයි

ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා සමාගම ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ප්‍රධාන කාර්යාලිය පරිශ්‍රයේදී පැවති විශේෂ උත්සවයකදී සමාගමේ සේවක සාමාජිකාවන් කිහිප දෙනෙකු දිරිගන්වමින් ඔවුන් ඇගයීමට ලක් කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබීය.

අලියාන්ස් ශාඛා ජාලය නියෝජනය කරන සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයේදී සායනික මනෝ වෛද්‍ය ප්‍රියන්ජලී ද සොයිසා මහත්මිය සහ ප්‍රවීණ ඔලිම්පික් ක්‍රීඩිකාවක වන හා ශ්‍රී ලංකාවේ කඩුලු පැනීමේ ශූරිය වන ශ්‍රියාණි කුලවංශ මහත්මිය විසින් ඔවුන් ජීවිතයේ මුහුණ දුන් අභියෝග, ධනාත්මකව සිතමින් ඒවා ජය ගත් ආකාරය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමද විශේෂත්වයකි.

ඒ තුළින් තමන්ගේ සිහින හඹා යමින් ජීවිතය ජය ගැනීම වෙනුවෙන් උත්සවට සහභාගී වූ සේවිකාවන් දිරි ගැන්වීමට ඔවුන් කටයුතු කරන ලදී.

එපමණක් නොව කාන්තාව පිළිබඳ සමාජය තුළ පවතින සීමාවන් බිඳ දමමින් රැකියාව සහ පෞද්ගලික ජීවිතය සමබරව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සේවිකාවන් දැනුවත් කිරීමටද පියවර ගෙන තිබිණ.

එසේම මේ වන විට කාන්තා විකුණුම් බලකායක් පිහිටුවීමට කටයුතු කර ඇති අලියාන්ස් ලංකා සමාගම නිරන්තර පුහුණුව හා හැකියා සංවර්ධනය තුළින් ඔවුන් සවිබල ගැන්වීමටත් ඔවුන්ගේ විශිෂ්ට ජයග්‍රහණයන් ඇගයීමට ලක් කිරීමටත් කටයුතු කර ඇත. විශේෂයෙන් පිරිමි පාර්ශවයට පමණක් සීමා වී තිබූ විකුණුම් ක්ෂේත්‍රය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීම මෙම වැඩසටහනෙහි සාර්ථකත්වය ලෙස පෙන්වා දිය හැකිය.

මෙහිදී අදහස් දැක්වූ අලියාන්ස් ලංකාහි ප්‍රධාන මානව සම්පත් කළමනාකාරිණී ඉෂාණි සේනවීර මහත්මිය “අලියාන්ස් සමාගම ලෙස අපි නිරන්තරයෙන් සේවක සේවිකාවන් වෙත සමාන අවස්ථාවන් හිමිකර දීමට කටයුතු කරනවා. අපගේ සේවක ප්‍රජාව තුළ සුහදතාවය සහ කණ්ඩායම් හැඟීම ඉහළ යාමට මෙය විශේෂ හේතුවක් වී තිබෙනවා. ඒ වගේම එය ආයතනයේ වර්ධනයටත් හේතු වී තිබෙනවා. සෑම දිනකම වෙහෙස මහන්සි වී සිය රාජකාරී කටයුතු සිදුකරන අපගේ සේවිකාවන් අගය කරමින් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට අප කටයුතු කළා.” යනුවෙන් පවසා තිබේ.

Visits: 44