ආයෝජකයන්ගේ පහසුවට CSE ඉතිහාසයේ සියලු දත්ත දැන් සීඩී තැටියකින්

කොළඹ කොටස් හුවමාරුවෙහි ඉතිහාසය තුළ සිදු වූ සියලු ගනුදෙනුවල දත්ත ඇතුළත් කරමින් සීටී තැටියක් ඉදිරිපත් කරන්නට පියවර ගෙන ඇතැයි පවසයි. Data Library CD ලෙස මෙය නම් කෙරී තිබේ.

කොළඹ කොටස් හුවමාරුව තුළ ආයෝජනය සඳහා පිවිසෙන නවකයන් වෙත අවශ්‍ය තොරතුරු ලබා දීම සහ වෙළෙඳ පොළ පිළිබඳ පර්යේෂකයන් වෙත ඒ සඳහා අවශ්‍ය දත්ත ලබා දීමේ අරමුණින් මෙම නව සීඩී තැටිය නිකුත් කර

තිබේ. සීඩී තැටියට අමතරව ගූගල් ඩ්‍රයිව් හරහා මෙම තොරතුරු ඩවුන්ලෝඩ් කරගැනීමේ අවස්ථාවද පවතින බව කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

ඒ අනුව මුදල් ලාභාංශ, කොටස් ලාභාංශ, හිමිකම් නිකුතු, කොටස් අනු බෙදීම්, දිනපතා වෙළෙඳපොළ අනුපාත, දිනපතා/මාස්පතා සහ වාර්ෂික වෙළෙඳ පොළ සංඛ්‍යාන, මාසික සහ වාර්ෂික CDC ක්‍රියාකාරකම්, 1991 වසරේ සිට 2020 තෙවැනි කාර්තුව සඳහා වන දෛනික කොටස් මිල ගණන්, ලැයිස්තුගත සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය, මාසික විදේශීය ක්‍රියාකාරකම් සහ මාසික ණය ගනුදෙනු වාර්තා ඇතුළු අංශ 39ක් සම්බන්ධ තොරතුරු මෙම සීඩී තැටිය තුළ ඇතුළත්ව තිබේ.

මෙම ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ වෙත අදහස් දැක් වූ කොළඹ කොටස් හුවමාරුවෙහි කොළඹ කාර්යාලයේ කළමනාකාර නිශාන්ත බටගල්ල මහතා,  “පර්යේෂණ සහ වඩාත් හොඳ ආයෝජන තීරණ ගැනීම සඳහා වැදගත් වන සංඛ්‍යාලේඛන දත්ත රැසක්ම මෙම Data Library CD තුළ ඇතුළත් කර තිබෙනවා. එහිදී වෙළෙඳ පොළ තුළ සහ කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සියලුම සමාගම්වල ගනුදෙනු සංඛ්‍යාලේඛන මේ හරහා සපයනවා.” යනුවෙන් පවසා සිටියි.

මෙම සීඩී තැටියක් රුපියල් 3,500 කට මිල කෙරී ඇත. එහිදී රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා මෙම සීඩී තැටියක් රුපියල් 1,500 ක මිලකට ලබා දෙන බවත් කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි. ඒ සඳහා වලංගු විශ්වවිද්‍යාල හැඳුනුම්පත්‍රයක් ඉදිරිපත් කිරීම අනිවාර්යය වෙයි.

එසේම මෙම තොරතුරු ඇතුළත් ගොනු අතරින් එක් තනි ගොනුවක් වුවද මිලදී ගත හැකිය. ඒ අනුව තෝරාගන්නා එක් ගොනුවක් රුපියල් 500ක මුදලකටත් ඉන් අනතුරුව තෝරන එක් ගොනුවක් සඳහා රුපියල් 250ක මුදලක් අය කර ගැනීම සිදු වෙයි.

මෙම සීඩී තැටිය හෝ ගූගල් ඩ්‍රයිව් හරහා අදාළ ගොනු ඩවුන්ලෝඩ් කරගැනීම සඳහා වන ගෙවීම් මුදල්, චෙක්පත් හෝ බැංකු තැන්පතු හරහා සිදු කළ හැකිය. මේ පිළිබඳ වැඩිදුර විස්තර 0112356525 හෝ 0112356512 ඇමතීමෙන් ලබා ගත හැකි බවත් කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 736