සූවස් ඇලෙහි සිරවූ නෞකාව නිසා ලෝක බොරතෙල් මිල ඉහළට‍

ලෝක වෙළෙඳ පොහොළහි බොරතෙල් බැරලයක මිල ආසන්න දින කිහිපයේදී යළිත් ඉහළ යමින් තිබෙන බව වාර්තා පවසයි. ලොව ප්‍රධාන පෙළේ නෞකා ගමනාගමන මාර්ගයක් වන සූවස් ඇලෙහි දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සිරවීම නිසා ඒ හරහා සිදු කරන බොරතෙල් නෞකා ඇතුළු භාණ්ඩ ප්‍රවාහන නෞකා රැසකට බාධා පැමිණ තිබීම ඊට හේතුව වී තිබේ.

ඒ අනුව ඊයේ (26දා) වන විට ලෝක වෙළෙඳ පොළෙහි බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 64.57ක් බවට පත්ව තිබුණි. එය පෙර දිනයේදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් සඳහා පැවැති ඩොලර් 61.80ට සාපේක්ෂව ඩොලර් 2.62 ක එනම් 4.23%ක ඉහළ යාමකි.

එසේම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 60.97ක් බවට පත්ව තිබූ අතර එය පෙර දිනයේදී සටහන්ව තිබූ ඩොලර් 58.56ට සාපේක්ෂව ඩොලර් 2.41ක් එනම් 4.12%ක ඉහළ යාමකි.

විශේෂයෙන්ම මෙම බොරතෙල් වර්ග දෙකම මෙම සතිය ආරම්භයේදී පෙර සතියට සාපේක්ෂව යම් මිල පහත වැටීමක් පෙන්නුම් කරමින් තිබීමත් කැපී පෙනෙයි. යුරෝපය තුළ යළිත් ලොක්ඩවුන් සීමාවන් පැණවීම සහ එන්නත්කරණයේ හට ගෙන ඇති මතභේද යනාදිය ඊට හේතු විය. ඉල්ලුම පිළිබඳ පැවැති අනපේක්ෂතාව ඊට හේතුවිය. එහෙත් මෙම සැපයුම් බාධා පැමිණවීමත් සමගින්ම යළිත් බොරතෙල් මිල මෙලෙස ඉහළ ගොස් ඇත.

පසුගිය අඟහරුවාදා දිනයේදී මෙම නෞකාව මෙලෙස සූවස් ඇලෙහි හිරවීම සිදුවිය. මේ වනවිට නෞකාව ඇලෙහි දෙපස ඇති නොගැඹුරු කොටසේ මඩ අතර සිරවී තිබේ. එය නිදහස් කිරීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබේ. එම කටයුතු සඳහා ගත වන කාලය අනුව ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවත් ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

සූවස් ඇලෙහි බලධාරින් ගත් තීරණයකට අනුව පසුගිය බ්‍රහස්පතින්දා සිට ඇල වෙත නෞකා ඇතුළු කරගැනීම නැවැත්වීම සිදු විය. එසේම නෞකාව නිදහස් කරගැනීම සඳහා සති කිහිපයක් යනු ඇතැයිද ඔවුන් පවසා තිබේ.

ඊජිප්තුවේ සිනාය් අර්ධද්වීපය හරහා වැටී ඇති මෙම සූවස් ඇල මාර්ගය ලෝකයේ බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන ප්‍රවාහන නෞකා සඳහා වඩාත් කාර්යබහුල මාර්ගයක් ලෙස නම් වී තිබේ. එසේම යුරෝපය සහ ආසියාව අතර අනෙකුත් භාණ්ඩ හුවමාරුව සඳහාද මෙම මාර්ගය වඩාත් කැපී පෙනෙයි.

ලෝක බොරතෙල් ප්‍රවාහන වාර්තාවලට අනුව 2020 වසරේදී සාගරය හරහා දිනකට ප්‍රවාහනය කෙරුණු සමස්ත බොරතෙල් ප්‍රමාණය බැරල් මිලියන 39.2කි. ඒ අතරින් දිනකට බැරල් මිලියන 1.74ක්ම ප්‍රවාහය කෙරී ඇත්තේ මෙම සුවස් ඇල හරහාය. එසේම එම වසරේදී පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු පිරිපහදු කළ ඉන්ධන නිෂ්පාදන බැරල් මිලියන 1.54ක්ද දෛනිකව මෙම ඇල මාර්ගය හරහා ප්‍රවාහනය කෙරී ඇතැයිද බොරතෙල් නෞකා පිළිබඳ විශ්ලේෂණය සිදු කරන සමාගමක් වන Kpler සමාගම පවසයි.

Visits: 364