රිචර්ඩ් පීරිස් සමාගමට අයත් වැවිලි සමාගම් දෙකක් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වැවිලි සමාගම් දෙකක් වන නමුනුකුළ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සහ කෑගල්ල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී යන සමාගම් සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඊයේ පැවැත් වුණු එම සමාගම් දෙකෙහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව ඉන් නමුනුකුළ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 8.50 බැගින් ලාභාංශ ගෙවන බව පවසා සිටියි. එහිදී 2020/21 මුල්‍ය වර්ෂය සඳහා වන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස මෙය සඳහන් කර ඇත.

මෙහිදී සමාගමේ ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන අප්‍රේල් 28 වැනිදා නම් කෙරී ඇත. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අප්‍රේල් 06 වැනිදා  සඳහන් කර ඇත. එසේම මෙම ලාභාංශ ගෙවීම සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නැති බවත් නමුනුකුළ ප්ලාන්ටේෂන්ස් සමාගම සඳහන් කරයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී නමුනුකුළ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 184.75ක් ලෙස සටහන් විය. එය ඊයේ පැවැති කොටසක වටිනාකම වූ රුපියල් 182.50ට සාපේක්ෂව රුපියල් 2.25 ක එනම් 1.23%ක ඉහළ යාමකි.

එසේම කෑගල්ල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමත් සිය ඡන්ද හිමි කොටස්කරුවන් සඳහා කොටසකට රුපියල් 4.00  බැගින් ලාභාංශ ගෙවන බව පවසා සිටියි. 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ගෙවන පළමු අතරමැදි ලාභාංශ ලෙස මෙය සඳහන්ව ඇත.

මෙම ලාභාංශ ගෙවන දිනය ලෙස අප්‍රේල් 28 වැනිදා නම් කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) අප්‍රේල් 06 වැනිදා ලෙසත් සටහන් කර ඇත.

මෙම ලාභාංශ ගෙවීමේදීද කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නැති බව කෑගල්ල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී කෑගල්ල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 97.50ක් ලෙස සටහන් විය. එය ඊයේ කොටසක අගය ලෙස පැවැති රුපියල් 97.60ට සාපේක්ෂව රුපියල් ශත -0.10 ක එනම් 0.10%ක පහළ යාමකි.

මෙම සමාගම් දෙකෙහිම වැඩිම කොටස්හිමිකරුවා වන්නේ කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක RPC Plantations Management Services පෞද්ගලික සමාගමයි.

Visits: 350