අනුරාධපුර ඖෂධ නිෂ්පාදන කලාපයේ ආයෝජකයන්ට මුල් වසර 5ට බදු විරාමයක්

අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති ඖෂධ නිෂ්පාදන කලාපය සඳහා තෝරාගත් ආයෝජකයන් වෙත මුල් වසර 5 සඳහා බදු විරාමයක් සහිතව වසර 35ක කාලයක් සඳහා ඉඩම් කොටස් බදු දීමට යෝජනා වී ඇතැයි රජය පවසයි.

මෙම යෝජිත ඖෂධ නිෂ්පාදන කලාපය ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍යාංශ යටතේ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය ඇමතිතුමිය මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා වන කැබිනට් අනුමැතිය පසුගියදා හිමි විය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සුදුසුකම් ලත් ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවා විද්වත් කමිටුවක් විසින් ආයෝජකයන් 24 දෙනෙකු තෝරා ගෙන ඇත. එම ආයෝජකයන් මෙම ව්‍යාපෘතිය සඳහා යෙදවීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 28,200 ක් බවත් රජය පවසයි.

අනුරාධපුරය ඔයාමඩුව දැයට කිරුළ පැවැති භූමියේ  මෙම අනුරාධපුර ඖෂධ නිෂ්පාදන කලාපය ස්ථාපිත කිරීමට සැලසුම් කෙරී ඇත. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ඖෂධ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කර තත්ත්වයෙන් උසස් ඖෂධ අඩු මිලට ජනතාවට ලබා දීම සඳහා දේශීය ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් දිරිගැන්වීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වී තිබේ.

Visits: 175