සෙලින්කෝ ලයිෆ් ‘ව්‍යාපාරික අත්වැල’ අරඹයි

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙරට ව්‍යාපාරිකයින්ට ඇතිවී තිබෙන අභියෝග ජයගැනීමට උපකාරයක් දැක්වීම සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් දිවයින පුරා ‘ව්‍යාපාරික අත්වැල’ නමින් ව්‍යවසාය සංවර්ධන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම වැඩසටහන යටතේ මාස්පතා ව්‍යාපාරික සම්මන්ත‍්‍රණ පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර මෙහිදී සිය ව්‍යාපාරය සහ ව්‍යාපාරික ජීවිතය හොඳින් කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කරන බව සමාගම සඳහන් කරයි.

මෙම වැඩසටහන් මාලාවේ පළමු වැන්න පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය විසින් නිර්දේශ කර තිබෙන කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට අනුව මහනුවරදී පැවැත්වුණු අතර ඒ සඳහා ප‍්‍රදේශයේ ව්‍යවසායකයින් කණ්ඩායමක් සහභාගී විය. මෙම වැඩසටහනේදී උදය දේවමුල්ල මහතා විසින් ඉලක්ක ගොඩනගා ගනිමින් අභියෝග ජයගන්නා ආකාරය පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කරන ලදී. 

සෙලින්කෝ ලයිෆ් සමාගම මේ වසරේදී මෙවැනි වැඩසටහන් 12 ක් සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර ඉලක්ක නිර්මාණය කිරීම, අභියෝග හසුරුවාලීම සහ ප‍්‍රශ්න විසඳාගැනීම, සෞඛ්‍ය ආරක්ෂාකර ගැනීම සහ ක‍්‍රියාශීලී දිවිපෙවෙත, සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට අවශ්‍ය ඉඟි සහ සෞඛ්‍ය පරීක්ෂණ කිරීමේ යහ පුරුදු පිළිබඳව විශේෂඥයින් විසින් දැනුම ලබාදීමට සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන දියත් කිරීම පිළිබඳව සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ව්‍යාපාර සඳහා ධනාත්මක සහ හොඳින් සමබර ප‍්‍රවේශයක් ප‍්‍රවර්ධනය කරනවාට අමතරව මෙම වැඩසටහන මගින් ව්‍යවසායකයින්ට තමන්ගේ බලාපොරොත්තු විශ්වාසයෙන් ජයගැනීමට දිරියක් ලබාදෙනවා යැයි අපි විශ්වාස කරනවා. මෙරට ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම ලෙස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සමග කටයුතු කිරීම මගින් අපි අත්දැක තිබෙන්නේ අවදානම පිළිබඳව තිබෙන බය අඩුකර ගැනීමෙන් අභියෝග ජයගැනීමේ පුද්ගල හැකියාව සහ ධාරිතාවය වැඩිකරගත හැකි බවයි.’   

එසේම, ‘ව්‍යාපාරික අත්වැල’ මගින් කාර්ය බහුල සහ බලාපොරොත්තු පොදි බැඳගෙන සිටින ව්‍යවසායකයින්ට ජීවිත රක්ෂණය මගින් සිය බලාපොරොත්තු සහ සිහින ජයගැනීමට ලබාදෙන දායකත්වය පිළිබඳ අවබෝධයක්ද ලබාදෙන බව සමාගම සඳහන් කරයි.

Visits: 51