දර්ශක ඉහළට එසැවීමේ තනි පුද්ගල ආයෝජක උත්සාහය අසාර්ථක වෙයි

අද (මාර්තු 25දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයේදී වඩාත් ධනාත්මක මුහුණුවරක් ගත් බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී තනි පුද්ගල ආයෝජකයන් පෙන්නුම් කළ සහභාගිත්වය පෙර පැවැති ඉහළ මට්ටමින්ම සටහන්ව ඇත. එහෙත් විශාල ප්‍රාග්ධනයක් සහිත සමාගම් තුළ ඇති වූ වාෂ්පෂීලිතාව දෙවැනි අර්ධයේදී දර්ශක අගයන් පහත වැටීමට හේතු වූ බවත් එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,081.17ත් ඒකක 7,201.35ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,099.13 ක් බවට පත්විය. එය ඊයේ (මාර්තු 24) දිනයට සාපේක්ෂව ඒකක 36.71 ක් එනම් -0.51%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව හැටන් නැෂනල් බැංකුවෙහි සිදු වූ ගනුදෙනුවක් දිනයේ පිරිවැටුමෙන් 1.6%ක් සඳහා දායකත්වය ලබා දී ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 69ක මිල ගණන් පමණක් ඉහළ ගිය අතර, සමාගම් 88ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.29), ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී PDL (+2.68), ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+2.34), ට්‍රාන්ස් ඒෂියා හොටෙල්ස් පීඑල්සී TRAN (+2.15), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (+1.4), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-7.61), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-7.3), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-5.98), වැලිබල් වන් පීඑල්සී VONE (-4.69), හේකාර්බ් පීඑල්සී HAYC (-2.45) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,854.25 ක අගයක් ගත් අතර, එය  ඊයේ (මාර්තු 24) දිනයට සාපේක්ෂව ඒකක 16.83 ක එනම් -0.59%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.49ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (මාර්තු 24) වාර්තා කළ රුපියල් මිලියන 1.56 ට සාපේක්ෂව 4% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.10ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 4.75%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 29.92ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 123.97ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 94.05කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 16.06ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එල්බී ෆිනෑන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 4.8 කි. එසේම හැටන් නැෂනල් බැංකුව (නිෂ්ඡන්ද කොටස්) විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 49.16ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 515ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 34% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ බැංකු දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 303ක සහ රුපියල් මිලියන 204ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 767