තරුණ ව්‍යවසායකත්ව සංවර්ධනයට නව ලොතරැයියක්

ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසෙන නව ව්‍යවසායකයින් සඳහා සහාය වීමට තරුණ සංවර්ධන අරමුදලක් සහ එම අරමුදල ප්‍රවර්ධනයට තරුණ සංවර්ධන ලොතරැයියක් ආරම්භ කිරීමට රජය යෝජනා කර සිටින බව පවසයි.

ඒ අනුව එම අරමුදල පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමටත් තරුණ හා ක්‍රීඩා ඇමතිවරයා කැබිනට් මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බවත්, ඊට කැබිනට් අනුමැතිය හිමි වූ බවත් ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණි.

නව ව්‍යවසායකයින් ලෙස ව්‍යපාර සඳහා පිවිසෙන තරුණ ප්‍රජාවට මුහුණ දීමට සිදුවන මූලිකම ගැටලු අතර ප්‍රමාණවත් තරම් මූල්‍ය සම්පත් නොමැති වීම ප්‍රධාන වෙයි. එසේම දැනටමත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරත තරුණ ව්‍යවසාකයන්ටද අවශ්‍ය මූල්‍ය සම්පත් සපයා ගැනීමේදී ගැටලුවලට මුහුණ පෑමට සිදු වන බව රජය සඳහන් කරයි.

“එහිදී විවිධ අවිධිමත් ක්‍රමවේද ඔස්සේ අවශ්‍ය මූල්‍ය සම්පත් සපයා ගැනීමට තරුණ ව්‍යවසායකින් උත්සාහ දැරීම නිසා ඔවුන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණපාන බව පෙනී ගොස් ඇත.” කැබිනට් නිවේදනය වැඩිදුරටත් පවසා සිටියි.

ඒ අනුව සෞභාග්‍යයේ දැක්ව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මෙම තරුණ සංවර්ධන අරමුදල ස්ථාපිත කිරීමටත්, එම අරමුදල ප්‍රවර්ධනය සඳහා තරුණ සංවර්ධන ලොතරැයියක් ආරම්භ කිරීමටත් මෙලෙස යෝජනා වී තිබේ.

Visits: 65