ආර්කේඩ් පරිශ්‍රය වසර 10කට බදු ගත්තේ ODEL පීඑල්සී සමාගමලු

කොළඹ ආර්කේඩ් ඉන්ඩිපෙන්ඩන්ට් පරිශ්‍රය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය සමගින් වසර 10ක කාලයක බදු ගිවිසුමක් වෙත පිවිසුනේ ODEL පීඑල්සී සමාගම බව එම සමාගම විසින් කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී සිටියි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ODEL පීඑල්සී සමාගම එහිම ලැයිස්තුගත සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමකි.

මෙම බදු ගිවිසුමට අදාළ එකඟතාව අත්සන් තැබීම පසුගියදා සිදු වු අතර එහිදී නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා සහ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී වෙනුවෙන් එහි සභාපති අශෝක් පතිරගේ යන මහත්වරුන් අතර එම ගිවිසුම හුවමාරු විය.

මෙම බදු ගිවිසුම ලබන අප්‍රේල් 01 වැනිදා සිට බලාත්මක වීමට නියමිතව තිබේ. ඒ අනුව එදින සිට වසර 10ක කාලයකට ‘ආර්කේඩ් ඉන්ඩිපෙන්ඩන්ට් චතුරස්‍රය’ ලෙසින් හැඳින්වෙන මෙම පරිශ්‍රය බදු දීම, පවත්වාගෙන යාම සහ කළමනාකරණය කිරීමේ බලය ODEL පීඑල්සී වෙත හිමි වෙයි.

එසේම මෙම කාලසීමාව ඉක්මවීමෙන් අනතුරුව එම බදු ගිවිසුම අලුත් කිරීම එම බදු එකඟතාවේ පවතින වදන් සහ කොන්දේසි අනුව සිදුවනු ඇති බවත් ODEL පීඑල්සී සමාගම දැනුම් දී සිටියි.

“ඉහත සඳහන් කළ මෙම ආර්කේඩ් ඉන්ඩිපෙන්ඩන්ට් පරිශ්‍රය තුළ සුඛෝපභෝගී අලෙවි සැල් අත්දැකීමක් හිමිවන ආකාරයෙන්  මෙහෙයුම් පවත්වාගෙන යාමට සහ කළමනාකරණය කිරීමට සමාගම පියවර ගන්නවා. ඒ හරහා සමාගම මගින් දැනටමත් රට තුළ පවත්වාගෙන යන ඉහළ මට්ටමේ සාප්පු සංකීර්ණ මෙහයවීම සහ කළමනාකරණය කිරීමේ පොකුරට එයත් එක් කරගන්නවා.” යනුවෙන් ODEL පීඑල්සී සමාගම පවසයි.

එසේම සමාගම මෙම එකඟතාව වෙත පිවිසීම ශ්‍රී ලංකාව කලාපය තුළ ඉහළ මට්ටමේ සාප්පු සවාරි ගමනාන්තයක් බවට පත් කිරීමේ කටයුත්තේ වැදගත් සන්ධිස්ථානයක් බවට පත්ව ඇතැයිද ODEL පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත වැඩිදුරටත් දැනුම් දී සිටියි.

Visits: 325