මානව හිමිකම් යෝජනාවෙන් පැරදුණත් ශ්‍රී ලංකාවට එරෙහි සම්බාධක පැනවීමක් නැහැ

ශ්‍රී ලංකාව එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය වෙත ඉදිරිපත්ව තිබූ යෝජනා අද දිනයේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. ඒ අනුව මෙම යෝජනාවට පක්ෂව රාජ්‍යයන් 22ක් ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර, රාජ්‍යයන් 11ක් මෙම යෝජනාවට විපක්ෂව ඡන්දය ලබා දීම සිදු විය. එසේම තවත් රාජ්‍යයන් 14ක් මෙම ඡන්ද විමසීමෙන් වැළැකී සිටියේය.

ශ්‍රී ලංකාවට එරෙහි මෙම යෝජනා යටතේ මූලිකවම එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව අවසන් යුද්ධය පැවැති සමයේදී සිදු වූ බව කියැවෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් යුද අපරාධ විමර්ෂණයක් සිදු කිරීම, එවැනි අපරාධ හා සම්බන්ධ පිරිසගේ වත්කම් අවුරාලීම සහ ඔවුන් වෙත සංචාරක තහනම් පැනවීම යනාදියද වෙයි.

කෙසේ වෙතත් මෙම යෝජනාව සම්මත වීම හරහා කිසිලෙසකින්වත් ශ්‍රී ලංකාවට එරෙහි සම්භාධක පැනවීමක් සිදු නොවන බවත්, එවැනි ආර්ථික හෝ වෙනත් සම්බාධක පැනවීමේ අවස්ථාවක් මෙම කවුන්සිලයට නොමැති බවත් විදෙස් විචාරකයන්ගේ අදහස වී තිබේ. ඒ අනුව සිදුව ඇත්තේ අදාළ යෝජනාවන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසට ශ්‍රී ලංකාවට පෙන්වාදීමක් පමණක් බවත් ඔවුහු පෙන්වා දෙති.

එහෙත් මෙම චෝදනා මූලික කරගනිමින් තනි තනි රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාවට ආර්ථික හෝ වෙනත් සම්බාධක පැනවීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට එරෙහිව රාජ්‍යයන් මගින් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් පවතී. ඒ අනුව ඉදිරියේදී වැඩි අවධානය යොමු කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් බව මෙම විචාරකයෝ වැඩිදුරටත් පවසති.

අද දිනයේදී ජිනීවා නුවරදී අන්තර්ජාල තාක්ෂණය හරහා පැවැති මෙම ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් රාජ්‍යයන් අතර ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්තය, ආර්ජන්ටිනාව, ආර්මේනියාව, ඔස්ට්‍රියාව, බහමාස්, බ්‍රසීලය, බල්ගේරියාව, අයිවරි කෝස්ට්, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆිජි, මලාවි, මාර්ෂල්ස් දූපත්, මෙක්සිකෝව, නෙදර්ලන්තය, පෝලන්තය, දකුණු කොරියාව, යුක්රේනය සහ උරුගුවේ යන රාජ්‍යයන් වෙයි.

එසේම මෙම යෝජනාවට විපක්ෂව ඡන්දය ලබා දුන් රාජ්‍යයන් අතර චීනය, රුසියානු සමූහාණ්ඩුව, චීනය, පාකිස්තානය, බංග්ලාදේශය, බොලිවියාව, එරිත්‍රියාව, පිලිපීනය, සෝමාලියාව, උස්බෙකිස්තානය සහ වෙනිසියුලාව පවතී. 

මීට අමතරව ඡන්ද විමසීම සඳහා සහභාගිවීමෙන් වැළැකී සිටි රටවල් අතර ඉන්දියාව, ජපානය, ලිබියාව, බහරේනය, බුර්කිනා ෆාසෝව, කැමරූන්, ගැබොන්, ඉන්දුනීසියාව, ලිබියාව, මයුරිටානියාව, නැමීබියාව, නේපාලය, සෙනගාලය, සුඩානය සහ ටොගෝ යන රාජ්‍යයන් විය.

Visits: 453