මයික්‍රොසොෆ්ට් සමාගම ඩො.බි. 10කට Discord මිලදී ගැනීමේ සූදානමක්?

ලොව සුප්‍රසිද්ධ තාක්ෂණික සමාගමක් වන මයික්‍රොසොෆ්ට් සමාගම ජනප්‍රිය පණිවුඩ හුවමාරු වේදිකාවක් වන Discord වැඩසටහන අයත් Discord Inc සමාගම ඩොලර් බිලියන 10ක මුදලකට මිලදී ගැනීම සඳහා සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මයික්‍රොසොෆ්ට් සමාගම මේ වනවිට Discord Inc සමාගම හා සාකච්ඡා පවත්වමින් සිටින බවත් මේ පිළිබඳව වාර්තාව ගෙන එන බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි. මයික්‍රොසොෆ්ට් සමාගමට අමතරව තවත් සමාගම් කිහිපයක්ම මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් උනන්දුව සිටින බවත් පැවසෙයි.

හඬ, වීඩියෝ සහ ටෙක්ස්ට් පණිවුඩ මෙන්ම සංවාද ඇතුළු සන්නිවේදන පහසුකම් ලබා දෙන වැඩසටහනක් ලෙස මෙම Discord ජනප්‍රියව පවතී. පසුගිය දෙසැම්බර් මාසය වනවිට Discord Inc සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 7ක් බවට පත්ව තිබුණි.

අද වනවිට මෙම වැඩසටහන ක්‍රීඩා, සංවාද මෙන්ම අන්තර්ජාලය හරහා සංවිදානය කරන සාද යනාදිය සඳහාද වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටියි. විශේෂයෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාව වැඩි වශයෙන් නිවෙස් තුළට වී අන්තර්ජාලය හරහා සබඳතා පැවැත්වීමක් වෙනුවෙන් යොමුවීම Discord වෙත වන ඉල්ලුම ඉහළ යාමට හේතු වී ඇත.

මේ අතර මයික්‍රොසොෆ්ට් සමාගමත් අද වනවිට තමන්ගේම සමාජ මාධ්‍ය වේදිකා ගොඩනගා ගැනීමක් වෙත යොමුව තිබෙන බවත්, මෙම මිලදී ගැනීම එහි එක් අවස්ථාවක් බවත් ජාත්‍යන්තර වෙළෙඳ පොළ විශ්ලේෂකයන් සඳහන් කරයි.

මයික්‍රොසොෆ්ට් සමාගම 2016 වසරේදී ඩොලර් බිලියන 26.2කට LinkedIn මිලදී ගැනීම එහි ප්‍රධානතම අවස්ථාවකි. එසේම ඔවුන් පසුගිය වසරේදී එක්සත් ජනපදය තුළ TikTok වැඩසටහනේ හිමිකාරීත්වය ලබා ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.

මීට අමතරව ඉදිරියේදී Pinterest Inc සමාගම මිලදී ගැනීම කෙරෙහිද මයික්‍රොසොෆ්ට් අවධානය යොමු කර ඇතැයිද මෙම විශ්ලේෂකයන් වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 100