දෛනික පිරිවැටුමෙන් 44%කට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් දායකත්වය දෙයි

අද (මාර්තු 23දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු වඩාත් සාර්ථක ආරම්භයක් පෙන්නුම් කළද පසුව දර්ශක අගයන් ඍණ බවට පත් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් (එල්ඕඑල්සී සහ වැලිබල් වන්) තුළ ඇති වූ පහළ වැටීම ඊට හේතු වී තිබේ.

එහෙත් දිනයේ දෙවැනි අර්ධයේදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් තුළ සිදු වුණු ගනුදෙනුව දෛනික පිරිවැටුමෙන් 44% ප්‍රතිශතයකට දායකත්වයක් ලබා දී ඇත. එසේම අද දිනයේදී බහුතරය විදේශ මිලදී ගැනීම් සහ විදේශයන්හි සිට විදේශයන්හි දක්වා සිදුකරන ගනුදෙනු වූ බවත් තැරැව්කාර සමාගම් වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 6,912.46ත් ඒකක 7,002.37ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 6,979.29 ක් බවට පත්විය. එය ඊයේ (මාර්තු 22) දිනයට සාපේක්ෂව ඒකක 12.58 ක් එනම් +0.18%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 67ක මිල ගණන් පමණක් ඉහළ ගිය අතර, සමාගම් 84ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+3.0), වැලිබල් වන් පීඑල්සී VONE (+2.61), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (+2.54), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+2.05), කොමර්ෂල් බැංකුව COMB (+2.01), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-2.61), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.87), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී SHL (-1.36), ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී PDL (-1.28), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-1.24) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,801.79 ක අගයක් ගත් අතර, එය  ඊයේ (මාර්තු 22) දිනයට සාපේක්ෂව ඒකක 15.67 ක එනම් +0.56%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 972.9ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (මාර්තු 22) වාර්තා කළ රුපියල් මිලියන 757.6 ට සාපේක්ෂව 28% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.05ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 2.98%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 314.13ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 196.05ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 118.08කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 15.64ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 165.7 කි. එසේම හැටන් නැෂනල් බැංකුව නිෂ්ඡන්ද කොටස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 18.77ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 576ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 59% ක අගයක් ගෙන තිබේ. බැංකු සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 110ක සහ රුපියල් මිලියන 93ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 283