මූල්‍ය සමාගම් 2ක් ඇතුළු සමාගම් 9ක ගනුදෙනු අත්හිටුවීමට CSE සූදානමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගම් දෙකක් ඇතුළුව සමාගම් 9ක කොටස් ගනුදෙනු ලබන මාර්තු 31 වැනිදා සිට අත්හිටුවීමට පියවර ගන්නා බව කොළඹ කොටස් හුවමාරුව නිවේදනයක් මගින් දැනුම් දී සිටියි.

ලැයිස්තුගත රීති අංක 7.5 (ඊ) යටතේ මෙම පියවර ගන්නා බව කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි. අදාළ සමාගම් 2020 මාර්තු  31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වන සිය වාර්ෂික වාර්තා මෙතෙක් ඉදිරිපත් කර නොතිබීම මෙලෙස ගනුදෙනු අත්හිටුවීමට හේතුව බව පැවසෙයි.

ඒ අනුව මූල්‍ය සමාගම් වන බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී, සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම්වලට අමතරව පැරගොන් සිලෝන් පීඑල්සී, සිලෝන් ප්‍රින්ටර්ස් පීඑල්සී, රේඩියන්ට් ජෙම්ස් ඉන්ටර්නැෂනල් පීඑල්සී, මැක්වුඩ්ස් එනර්ජි පීඑල්සී, ටෙස් ඇග්‍රෝ පීඑල්සී සහ ඔෆිස් ඉක්විප්මන්ට් පීඑල්සී යන සමාගම් මෙලෙස කොටස් ගනුදෙනු අත්හිටුවීම සඳහා නිර්දේශිත සමාගම් 9ට අයත් වෙයි.

කෙසේ වෙතත් අදාළ වාර්තා ලබන මාර්තු 30 වැනිදාට පෙරාතුව ඉදිරිපත් කරමින් ලැයිස්තුගත රීතින් වෙත අනුකූලතාවක් දැක්වීම හරහා මෙම ගනුදෙනු අත්හිටුවීම වළක්වා ගත හැකි බවත් කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සමාගම් 09 අතරින් පැරගොන් සිලෝන්, සිලෝන් ප්‍රින්ටර්ස් සහ ඔෆිස් ඉක්විප්මන්ට් පීඑල්සී යන සමාගම් පසුගිය දෙසැම්බර් මාසයේදීද කොළඹ කොටස් හුවමාරුව මගින් මෙලෙස කොටස් ගනුදෙනු අත්හිටුවීමක් සිදු වූ අතර ජනවාරි මාසයේ 27 වැනිදා එම සමාගම් වෙත යළිත් ගනුදෙනු  සඳහා අවස්ථාව හිමි විය. එතෙක් එම සමාගම් කොටස් හුවමාරුවෙහි WatchList ලැයිස්තුවට ඇතුළත්ව තිබුණි.

Visits: 1299