ආකේඩ් පරිශ්‍රයේ මෙහෙයුම් බදු ගිවිසුමක් හරහා සොෆ්ට්ලොජික් වෙත පැවරේ

කොළඹ ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ට් පරිශ්‍රය පෞද්ගලික පොදු සහයෝගිතාවයක් (PPP) යටතේ වැඩිදියුණු කර නව අංග රැසක් හඳුන්වා දී එමඟින් ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමේ අරමුණින් ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක් වන සොෆ්ට්ලොජික් සමාගම වෙත එම පරිශ්‍රය බදු දීමට කටයුතු කළ බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම පරිශ්‍රය බදු දීම සිදු වුණු පළමු අවස්ථාවද මෙය වෙයි. ඒ අනුව සොෆ්ට්ලොජික් සමාගම සහ නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය දා කුලී බදු ගිවිසුමකට අත්සන් තැබූ බව සඳහන් කරයි.

බත්තරමුල්ල, සුහුරුපාය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී මෙම බදු ගිවිසුම අත්සන් තැබිණ. වසර 10 ක කාලයකට යටත්ව ක්‍රියාත්මක වන මෙම බදු ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර සහ සොෆ්ට්ලොජික් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, සොෆ්ට්ලොජික් සමාගමේ උප සභාපති හරේෂ් කයිමාර් යන මහත්වරුන් අත්සන් තබා තිබේ.

අත්සන් තැබූ බදු ගිවිසුම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සහ සොෆ්ට්ලොජික් සමාගමේ සභාපති අශෝක් පතිරගේ යන මහත්වරුන් අතර හුවමාරු කෙරී ඇත.

අත්සන් කළ බදු ගිවිසුම වසර 10 ක කාලයකට බල පැවැත්වෙයි. ඒ අනුව ආකේඩ් පරිශ්‍රයේ අයිතිය හැර, එහි සියලු කටයුතු නිදහසේ කිරීමේ අයිතිය සොෆ්ට්ලොජික් සමාගමට හිමිව තිබේ.

ඒ යටතේ කළමනාකරණය, නඩත්තුව, මෙහෙයුම්, ගොඩනැගිලි භාවිතය ඇතුළු සියලු සේවාවන් පවත්වාගෙන යාමට අවසරය හිමි වෙයි. තව ද පරිශ්‍රය සඳහා සුදුසු ව්‍යාපාර ස්ථාන ඇති කිරීම, මුදල් පාලනය ඇතුළත් අවස්ථාවන්වල ද හිමිකම පැවරෙන බවත් නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

අක්කර හතරහමාරක විශාලත්වයකින් යුත් ආකේඩ් පරිශ්‍රය කඩ කාමර 42 කින් සමන්විත වෙයි.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම ආකේඩ් නිදහස් චතුරශ්‍රය සොෆ්ට්ලොජික් සමාගමට වාර්ෂිකව ගෙවන බද්දකට යටත්ව වසර 10 කට බදු දෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කර තිබේ.

එහිදී අදහස් දක්වා ඇති ඒ මහතා “අපගේ විශ්වාසය ඔවුන් මෙය දියුණු කරන බවටයි. ආකේඩය දැන් සිටින තත්ත්වයෙන් නික්මී, අතිශය සාර්ථක ඉදිරි දියුණු ගමනක් අරඹනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ එම අභිලාෂයත්, වඩාත් වෙනස් ක්‍රමයට සකස් කර ඇති සැලසුම් සහ අධිෂ්ඨානයත් සාර්ථක කර ගැනීමට අපගේ මෙම සුභ පැතුම් ද ඉවහල් වනු ඇති බවට අපි විශ්වාස කරනවා” යනුවෙන් පවසා තිබේ.

මෙහිදී සොෆ්ට්ලොජික් සමාගමට ආකේඩ් නිදහස් චතුරශ්‍රය වසර 10 ක කාලයක් සඳහා ලබා දෙන්නේ ගිවිසුමකට යටත්ව බවත්, එම ගිවිසුමට අදාළව සොෆ්ට්ලොජික් සමාගමට නිදහසේ ව්‍යාපාර කටයුතු මෙහෙයවීමට හැකියාව හිමි වෙයි.

ඒ අනුව ආකේඩ් පරිශ්‍රය තුළ සිටින එකිනෙකට වෙනස් වූ ව්‍යාපාර ස්ථාන සහ ව්‍යාපාර හිමියන් දිරිමත් කිරීම, ව්‍යාපාරයන් දියුණු තත්ත්වයකට පත්කිරීම යන ප්‍රධාන අරමුණු යටතේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ආකේඩ් සංකීර්ණය, ව්‍යාපාර ලෝකයේ දැවැන්ත සමාගමක් වන සොෆ්ට්ලොජික් සමාගමට බදු දීමෙන් ඉටුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි.

සාම්ප්‍රදායික බව, නව අලෙවියන් සීමා මායිම් පුළුල් නොකරන සහ පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගනිමින් වඩා ලාභදායී මෙන්ම ගුණාත්මක සේවාවක් සියලු ගනුදෙනුකරුවන්ට සොෆ්ට්ලොජික් ආයතනය ලබා දෙනු ඇතැයි ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විශ්වාස කරයි.

මෙහිදී සොෆ්ට්ලොජික් සමාගමට ආකේඩ් නිදහස් චතුරශ්‍රය වසර 10 ක කාලයක් සඳහා ලබා දෙන්නේ ගිවිසුමකට යටත්ව බවත්, එම ගිවිසුමට අදාළව සොෆ්ට්ලොජික් සමාගමට නිදහසේ ව්‍යාපාර කටයුතු මෙහෙයවීමට හැකියාව හිමි වන බවත් නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ආකේඩ් පරිශ්‍රයේ තවදුරටත් රැඳී සිටින ව්‍යාපාර හිමියන් ආරක්ෂා කරගනිමින් හා එම ව්‍යාපාර ස්ථානයන් වඩාත් දියුණු කරමින් වඩා තරගකාරී ව්‍යාපාරික අවස්ථාවක් හඳුන්වාදීමට සොෆ්ට්ලොජික් සමාගම ද බලාපොරොත්තු වන බව සඳහන් කරයි.

සොෆ්ට්ලොජික් පෞද්ගලික සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙහිදී අදහස් දක්වමින්, ආකේඩ් පරිශ්‍රය සුඛෝපභෝගී වෙළඳපළක් බවට පත්කිරීමට බලාපොරොත්තුව වන බව පවසා තිබේ.

“කොළඹ ආකේඩ් පරිශ්‍රය යනු කොළඹින් සොයාගත හැකි හොඳම ගොඩනැගිල්ලයි. ආකේඩ් නිදහස් චතුරස්‍රය සොෆ්ට්ලොජික් සමාගමට නාගරික සංවර්ධන අධිකාරිය යටත් බද්දට ලබාදීම පෞද්ගලික පොදු සහයෝගිතාව අර්ථ ගැන්වීමට ලබාදිය හැකි හොඳම උදාරණයයි. ඒ ගැන අපට සැබැවින්ම අඩම්බර විය හැකියි. මෙම ආකේඩ් පරිශ්‍රය අති සුඛෝපභෝගී වෙළඳ සංකීර්ණයක් ලෙස දියුණු කිරීම අපගේ අභිලාෂයයි.” යනුවෙන් ඔහු පවසා ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති සභාපතිවරයා “අප විශ්වාස කරන්නේ මෙම ක්‍රියාවලිය විනිවිදභාවයකින් කළ යුතු බවයි. මෙහි ආරම්භයේ සිට අවසානය දක්වා විනිවිදභාවය ආරක්ෂා කිරීමේ වගකීම අප සතුයි. අප සමාගම මඟින් මෙම කටයුතු සිදු කරනු ලබන්නේ විදේශිකයන් සඳහාම නෙමෙයි. ශ්‍රී ලාංකිකයන් උදෙසාත් එය ක්‍රියාත්මකයි. නැවුම් ආකාරයකට එළිමහන් උත්සව, උසස් තත්ත්වය ප්‍රමිති සහගත විවාහ මංගල උත්සව සඳහාත් අපගේ සැලසුම් ක්‍රියාත්මකයි. ඉහළම තත්ත්වයේ හෝටල් ද එම සැලසුමට අයත් වෙනවා. අපට මෙම සියල්ල එක් රැයකින් කළ නොහැකි. වසර තුන හතරක් ගත විය හැකියි. අපට ඔබ සැමගේ සහයෝගය ඒ සඳහා අවශ්‍යයි. නාගරික සංවර්ධන අධිකාරිය සමඟ එක්ව පෞද්ගලික පොදු සහයෝගීතාවයෙන් කටයුතු කිරීමෙන් ද එම සහයෝගය අපට ලැබෙන බව අපගේ විශ්වාසයයි.” යනුවෙන්ද පවසා ඇත.

Visits: 658