LG ඉලෙක්ට්‍රොනික්ස් සමාගම දුරකතන නිෂ්පාදනය අත්හැරීමට යයි

දකුණු කොරියාව මූලස්ථානය කරගත් බහුජාතික සමාගමක් වන LG Electronics සමාගම සිය ජංගම දුරකතන නිෂ්පාදනය අත්හැර දැමීමට තීරණය කර ඇතැයි එරටින් ලැබෙන වාර්තා පවසයි.

ඒ අනුව ඉදිරියේදී සමාගමේ ජංගම දුරකතන අංශය (LG Mobile Communications) නවතා දැමීමට හෝ බොහෝ දුරට වෙනත් සමාගමක් වෙත අලෙවි කිරීමට හෝ ඉඩ ඇතැයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

අද දිනයේදී දකුණු කොරියාවේදී ප්‍රකාශයට පත් කෙරුණු DongA Ilbo නම් සති අන්ත පුවත්පත තුළ LG Electronics සමාගමේ මෙම තීරණය පිළිබඳව ඇතුළත්ව තිබේ.

පුවත්පත සඳහන් කරන ආකාරයට LG Electronics සමාගම දැනටමත් සිය ජංගම දුරකතන නිෂ්පාදන අංශය ජර්මනියේ Volkswagen AG හෝ වියට්නාමයේ Vingroup JSC නම් සමාගම වෙත හෝ අලෙවි කිරීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව සඳහන් වෙයි.

මෙම ජංගම දුරකතන අංශය ආසන්න වසර කිහිපයේදී පෙන්නුම් කළ අලාභ හිමි කරගැනීම් මෙලෙස එය වසා දැමීමේ තීරණයට හේතුව වී තිබේ. LG Electronics සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාද පසුගියදා මෙම ජංගම දුරකතන අංශයේ පවතින පාඩු සම්බන්ධයෙන් පවසා ඇත.

මේ අතර පුවත්පත පවසන ආකාරයට LG Electronics සමාගම මේ වසරේදී හඳුන්වාදීමට නියමිතව තිබූ කරකැවිය හැකි තිරයක් සහිත සිය නවතම ජංගම දුරකතනයේ සංවර්ධන කටයුතුත් මේවනවිට අත්හිටුවා ඇත. එසේම මේ වසරේ පළමු අර්ධයේදී නව ස්මාට්ෆෝන් එළිදැක්වීමේ සැලසුම්ද සමාගම ඉවත් කරගෙන තිබේ.

පසුගිය ජනවාරි මාසයේදී LG Mobile Communications සමාගම සිදු කළ නිවේදනයකට අනුව 2020 වසරේදී එහි සම්පූර්ණ ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 4.66ක් විය. ඒ අතරින් 2020 සිව්වැනි කාර්තුවේදී අලෙවිය ඩොලර් බිලියන 1.24ක් බවට පත්ව ඇත. එය 2019 එම කාර්තුවට සාපේක්ෂව 4.9%ක වර්ධනයක් වුවත්, 2020 තෙවැනි කාර්තුවට සාපේක්ෂවය 9.2%ක පහත වැටීමකි.

එහිදී විශේෂයෙන්ම 4G තාක්ෂණය සහිත චිප්උපාංගවල හිඟතාව සහ විදෙස් වෙළෙඳ පොළ තුළ එහි ප්‍රධාන පෙළේ ස්මාට්ෆෝන් මාදිලිවල අලෙවියේ පෙන්නුම් කළ පසුබැසීමත් හේතු වී තිබේ.

කෙසේ වෙතත් LG Electronics සමාගම 2020 වසරේදී සමස්ත ආදායම ලෙස එක්සත් ජනපද ඩොලර් බිලියන 56.45ක් උපයා ගෙන ඇත. එසේම එම වසරේදී වාර්තාගත ලෙස ඩොලර් බිලියන 3.20ක මෙහෙයුම් ලාභයක්ද අත් කරගෙන තිබේ. එය 2019 වසරට සාපේක්ෂව 31.1%ක වර්ධනයකි.

විශේෂයෙන්ම සමාගම මගින් නිෂ්පාදනය කරන ඉහළ මට්ටමේ ගෘහ විදුලි උපකරණ සහ OLEDTV රූපවාහිනි යන්ත්‍ර අලෙවියේ වර්ධනය මෙන්ම සමාගමේ මෝටර් රථ උපාංග විසඳුම් සඳහා වන ඉල්ලුම ඉහළ යාමද මේ සඳහා හේතු වී තිබේ.

Visits: 181