කෘෂිකර්ම ප්‍රතිපත්ති විශ්ලේෂණ ධාරිතාව නැංවීමට EU අනුග්‍රහයෙන් TAMAP ක්‍රියාත්මක වෙයි

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ආයතනවල ප්‍රතිපත්ති විශ්ලේෂණය, සැලසුම්කරණය සහ ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීමේ අරමුණින්, කෘෂි ප්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබඳ විශේෂ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණු බව පවසයි.

යුරෝපා සංගමයේ අනුග්‍රහය සමඟ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා තාක්ෂණික සහාය සැපයීමේ වැඩසටහන(TAMAP), පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනයේ සහයෝගය සහ මුදල් අමාත්‍යංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා, අමාත්‍යංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පෞද්ගලික ආයතන නියෝජිතයින් සහ කෘෂිකර්ම ප්‍රතිපත්ති විශ්ලේෂණයේ නියුතු ජාතික විශ්ව විද්‍යාලවල ආචාර්යවරු ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී තිබේ.

සුදුසු කෘෂිකර්මාන්ත ප්‍රතිපත්ති හඳුන්වා දීම මත ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගමනය රඳා පවතී. එවන් පසුබිමක කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් සංශෝධන ප්‍රතිපත්ති රැගත් මෙවැනි මැදිහත්වීම්, 2030 වසර වනවිට තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ද අතිශය වැදගත් වනු ඇත.

කෘෂිකර්මාන්ත අංශයේ වර්ධනය උදෙසා එහි ප්‍රතිපත්තිමය ක්‍රියා රාමුව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දරන උත්සාහයට සහාය දැක්වීම, TAMAP හි ප්‍රධාන අභිලාෂයකි. ගැඹුරු පර්යේෂණ වැඩසටහන් සහ බලපෑම් ඇගයීම් වැඩසටහන් හරහා මෙරට රාජ්‍ය නිලධාරීන්ගේ ධාරිතාව නැංවීමට TAMAP ක්‍රියා කරන අතර, එහිදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ප්‍රතිපත්ති විශ්ලේෂණය හා ක්‍රියාවට නැංවීම පිළිබඳව ඔවුන්ට ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම කෙරෙහි ය.

මේ අතර පසුගියදා පැවැති වැඩසටහනට සහභාගී වූවන්ට කෘෂිකර්ම ප්‍රතිපත්තිවල ආර්ථික විශ්ලේෂණ කටයුතු සඳහා උපයෝගී කරගත හැකි සංකල්පීයමය සහ විශ්ලේෂණාත්මක උපාංග පිළිබඳ දැනුමක් හිමිවිය.

TAMAP හි ප්‍රතිපත්ති උපදේශකයින් නිර්මාණය කළ මෙම වැඩසටහන ඔස්සේ‘කෘෂිකර්මාන්ත ප්‍රතිපත්ති විශ්ලේෂණය: නැගී එන ආර්ථිකයන් සඳහා සංකල්ප සහ උපාංග‘ නමින් මාර්ගෝපදේශන සංග්‍රහයක් පවා එළිදැක්විණි. එය සකස් කරන ලද්දේ ද ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර විද්වතුන්ගේ සහභාගීත්වයෙනි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජීවික වීරහේන සහ TAMAPහි ආචාර්ය ඇන්ඩෘ ජැක් යන මහත්වරු විසින් මෙම මාර්ගෝපදේශන සංග්‍රහය සංස්කරණ කරන ලදී. එය මෙම පුහුණු වැඩසටහන් මාලාවේ ප්‍රධාන අංගයක් වන අතර, 2021 මැයි මාසයේදී එය ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත්වීමට ද නියමිත ය.

“කෘෂිකර්මාන්තය සහ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය, ශ්‍රී ලංකාව තුළ යුරෝපා සංගමයේ සහයෝගීතාව තුළ ප්‍රධාන ප්‍රමුඛතාවක්. මෙවැනි ව්‍යාපෘති හරහා රජයට මෙන්ම දේශීය ප්‍රජාවටත් පූර්ණ සහභාගීත්වයකින් යුතු හා නවීන කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයක් බිහි කරගැනීමටත්, වැඩි සංවර්ධනයක් හා රැකියා ප්‍රමාණයක් ජනනය කිරීමටත් හැකිවන බව TAMAP හි විශ්වාසයයි. එහිදී ජාතික, පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් විවිධ පාර්ශ්වකරුවන් සමඟ TAMAP  කටයුතු කරනවා.  ඒ වගේම මෙම වැඩසටහන හරහා නිලධාරීන්ට වැඩි දැනුවත්භාවයකින් යුතුව ප්‍රතිපත්ති සම්පාදනයට ඉඩ සැලසෙනවා. සංකීර්ණ ප්‍රතිපත්තිමය අභියෝග ජයගැනීමටත් ඔවුන්ට ඉන් විශාල පිටිවහලක් හිමිවෙනවා“, යනුවෙන් මෙම පුහුණු වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මෙරට යුරෝපා සංගම් දූත මණ්ඩලයේ ඇනිටා රික්සාන් මහත්මිය පැවසුවාය. 

“මෙම වැඩසටහන නිර්මාණය කිරීමත්, එය ක්‍රියාවට නැංවීමත් ඉතාම කාලීන පියවරක්. මක් නිසාද යත් ප්‍රතිපත්ති සම්පාදනයේ යෙදී සිටින නිලධාරීන්ගේ ධාරිතාව නැංවීම සඳහා එය ඉතාම ප්‍රයෝජනවත්. මෙසේ විශ්ලේෂණාත්මකව දැනුම වර්ධනය කළ සහ සාක්ෂි මත පදනම් වූ සාකච්ඡා සඳහා TAMAP ලබාදෙන දායකත්වය අපි බෙහෙවින් අගය කරනවා“, යනුවෙන් කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය දෙමටවැව මහතා පැවසීය.

මේ අතර TAMAP හි කණ්ඩායම් ප්‍රධානී ආචාර්ය නිහාල් අතපත්තු මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා රජයට සහාය දැක්වීම කෙරෙහි TAMAPහි පූර්ණ අවධානය යොමුව ඇති බව ය. “සාක්ෂි පදනම් කරගත් සහ දැනුවත්භාවයෙන් යුතුව සිදුකරන ප්‍රතිපත්ති සම්පාදනය තුළින් වඩාත් සාර්ථක ප්‍රතිපත්ති සැලසුම් කිරීමට හා ක්‍රියාවට නැංවීමට හැකිවෙනවා. කෙසේ නමුත් සාක්ෂි සහ ප්‍රතිපත්ති සම්පාදනය හොඳින් සම්බන්ධ කරගැනීම විශාල අභියෝගයක්. එම නිසා මෙම වැඩසටහනට සහභාගී වන්නන්ට කෘෂිකර්මාන්ත සංවර්ධනයට අදාළ ප්‍රතිපත්තිමය තත්ත්වයන් පරීක්ෂා කිරීමට වගේම ,තම ධාරිතාව වැඩිදියුණු කරගැනීමටත් අවශ්‍ය සංකල්ප, උපාංග සහ ක්‍රියාවලි පිළිබඳ දැනුවත්භාවයක් හිමිවෙනවා“, ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අනුව TAMAP සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනය එක්ව නියමු ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන අතර, රජරට විශ්ව විද්‍යාලය, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සහ යාපනය විශ්ව විද්‍යාලය සමඟ ද 2021 වසර තුළ එවැනි ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට නියමිත ය. TAMAP ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.eusl-ruraldevelopment.org වෙබ් අඩවියට පිවිසෙන්න.

Visits: 50