නිමල් පෙරේරා අවුරුදු 35 දී මිලියනපතියෙකු කළ ආයෝජන කළඹ

වර්තමානයේදී මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා 1995 වසරේදී කොළඹ කොටස් හුවමාරුව තුළ මිලදී ගෙන තිබූ සමාගම්වල කොටස් ඇතුළත් ලේඛනයක් පසුගියදා ප්‍රසිද්ධියට පත් කර තිබේ.

අද වනවිට ආශා සෙකියුරිටීස් ලිමිටඩ් ලෙස හැඳින්වෙන Allied Phillip Securities limited සමාගම ඔහුගේ කොටස් තැරැව්කාර සමාගම ලෙස ක්‍රියා කර තිබේ.

නිමල් පෙරේරා මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇති මෙම ලේඛනයේ දිනය ලෙස සටහන් වන්නේ 1995/03/10 වැනිදා යන්නයි. එනම් හරියටම අදින් වසර 26 කට පෙරාතුවයි.

මෙහිදී ඇක්මි ඇලුමිනියම්, බයිරහා ෆාම්ස්, කලම්බු ෆෝර්ඩ් ලෑන්ඩ් ඇන්ඩ් බිල්ඩිංග් පීඑල්සී, චෙමනෙක්ස් ලිමිටඩ්, සෙලින්කෝ සෙකියුරිටීස්, ඊඩ්න් හොටෙල්ස්, හන්ටර් ඇන්ඩ් කම්පැනි ලිමිටඩ්, කැලනි කේබල්ස් ලිමිටඩ්, ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස්, ලංකා මිල්ක් ෆුඩ්ස්, හොටෙල් සර්විසස්, සෙලාන් ට්‍රස්ට් බැංකුව, සිංගර් (ශ්‍රී ලංකා) ලිමිටඩ්, කැලනි ටයර්ස් සහ වෝල්කර්ස් ටුවර්ස් ලිමිටඩ් යනාදිය එම ආයෝජන සමාගම් ලැයිස්තුවට ඇතුළත්ව තිබේ.

ඒ අනුව තරුණ ආයෝජකයෙකු ලෙස ඔහු එක් අංශයකට පමණක් සීමා නොවී එකිනෙකට වෙනස් සමාගම් රැසකම සිය මුදල් ආයෝජනය කර තිබෙන බව මින් පැහැදිලි වෙයි.

නිමල් පෙරේරා මහතා එම වසරේදී සිදු කර තිබූ මෙම සමස්ත ආයෝජනවල වටිනාකම රුපියල් ලක්ෂ 15 ක් (1,521,480.00) ඉක්මවා ඇත.

ඒ අනුව වයස අවුරුදු 35 දී තමන් මෙම ආයෝජන හරහා මිලියනපතියෙකු බවට පත්ව තිබූ බව නිමල් පෙරේරා මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

අද වන විට 61 හැවිරිදි වියේ පසුවන නිමල් පෙරේරාගේ ආයෝජන කළඹ තව දුරටත් වර්ධනය වී ඇති අතර, ඒ මහතා සතු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන ගණනක් බවටද පත්ව තිබේ.

Visits: 4248