මාර්තු 20 සිට ‘BreadTalk’ අවන්හල් 09 තාවකාලිකව වසනවාලු

කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක පවත්වාගෙන යන බේකරි ඇතුළු කෙටි ආහාර අලෙවිහල් ජාලයක් වන ‘BreadTalk’ අවන්හල් ජාලයේ සියලුම අවන්හල් ලබන මාර්තු 20 වැනිදා සිට නැවත දැනුම් දෙනතුරු වසා දමන බව එහි හිමිකාරීත්වය සතු RIL Property PLC සමාගම සඳහන් කරයි.

ලැයිස්තුගත සමාගමක් වන RIL Property PLC සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ.

‘BreadTalk’ සන්නාමය හිමි පූර්ණ පරිපාලිත සමාගමක් වන FoodBuzz සමාගමෙහි සියලුම ව්‍යාපරික කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීමත් සමගම මෙලෙස එම අවන්හල් වසා දැමීම සිදු වන බව RIL Property PLC සමාගම මෙහිදී සඳහන් කරයි.

විශේෂයෙන්ම 2019 වසරේ අප්‍රේල් මාසයේදී සිදු වුණු පාස්කු ප්‍රහාරය හේතුවෙන් සහ දැනට පවතින වසංගත තත්ත්වය නිසා රට තුළ මතු වුණු අයහපත් වෙළෙඳ පොළ වාතාවරණය මෙලෙස FoodBuzz සමාගමේ මෙහෙයුම් මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට හේතුව බවද සමාගම පවසයි.

පසුගියදා රැස් වුණු FoodBuzz සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් විසින් ගනු ලැබූ තීරණයකට අනුව මෙලෙස ‘BreadTalk’ අවන්හල් ජාලය තාවකාලිකව මෙහෙයුම් අත්හිටුවන බවත්, නැවත මෙහෙයුම් ආරම්භකරන තුරු එය එසේ වන බවත් RIL Property PLC සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

RIL Property PLC සමාගම මගින් 2015 වසරේදී පිහිටවුණු FoodBuzz පෞද්ගලික සමාගම යටතේ Breadtalk අවන්හල් ජාලය මෙරට තුළ සිය ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කෙරිණි. සිංගප්පූරු සමාගමක් වන Breadtalk 2000 වසරේදී ආරම්භ කරවූවකි. එය 2003 වසරේ සිට සිංගප්පූරු කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක්ද වෙයි.

අද දිනය වනවිට Breadtalk අවන්හල් නවයක් මෙරට තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ අනුව ලිප්ටන් වටරවුමේ පිහිටි කොළඹ ලිප්ටන් වටරවුම, කොළඹ පාර්ක් ස්ට්‍රීට්, තිඹිරිගස්යාය, නුගේගොඩ, රාජගිරිය, ගල්කිස්ස, මහරගම, වත්තල සහ වන්ගෝල්ෆේස් සාප්පු සංකීර්ණයේද එම අවන්හල් පිහිටා තිබේ.

Visits: 560