බිලියන ගණනක හිඟ බදු අය කරගැනීම ප්‍රමාදයට හේතුව නඩු පමාවලු

හිඟ බදු අයගරගැනීම සම්බන්ධ දීර්ඝකාලීන අධිකරණ ක්‍රියාවලිය සහ නඩු කල් යාම නිසා වසර ගණනාවකට අදාළ රු. බිලියන ගණනක විශාල හිග බදු මුදලක් මේවන විට අයකරගත නොහැකිව පවතින බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එච්.එම්.සී බණ්ඩාර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කර තිබේ.

මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා (කෝපා) රැස්වීමේදී මේ බව අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙහිදී බදුගෙවීම් පැහැරහරින්නන් විසින් අධිකරණ ක්‍රියාවලියේ ප්‍රමාදයන් තම ගෙවීම් ප්‍රමාද කිරීම සදහා සිය වාසියට යොදා ගන්නා බව ද මෙහිදී අනාවරණය කෙරී ඇත.

මෙහිදී මෙලෙස නඩු කල් යෑම වළක්වා හිග බදු අයකරගැනීමට අදාළ අධිකරණ ක්‍රියාවලිය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය වන බව අවධාරණය කළ කමිටුව අධිකරණ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට ඉදිරියේදී කඩිනමින් කෝපා කමිටුව හමුවට කැදවන බවද පවසා තිබේ.

තවද බදු අය කිරීමේ ක්‍රමවේදය වඩාත් විධිමත් සහ කඩිනම් කළ හැකි සියලු ක්‍රියාමාර්ග ගතයුතු බවත් අවශ්‍ය නම් මේ සම්බන්ධ නීතියද වෙනස් කිරීමට කටයුතු කළ යුතු බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

බදු ගෙවන්නන්ගෙන් අය විය යුතු හිඟ බදු හා දඩ මුදල් පිළිබද විශේෂ විගණන වාර්තාව සම්බන්ධයෙන් 2021 ජනවාරි 6 වන දින පැවති සාකච්ඡාවේ ලබාදුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ කෝපා රැස්වීමේදී සභාපතිවරයා මේ බව පැවසීය.

2021 ජනවාරි 6 වන දින පැවති සාකච්ඡාවට අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති බදු නොගෙවූ ආයතන අතර ඉහළින්ම ඇති ආයතන සහ ඔවුන් විසින් තබා ඇති හිඟ බදු ප්‍රමාණය පිළිබද වාර්තාව පිළිබද මෙහිදී කමිටුවේ අවධානයට ලක් වී තිබේ.

මේ අවස්ථාවට, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, ගරු නිරෝෂන් පෙරේරා, මොහොමඩ් මුසම්මිල්, එස් ශ්‍රීදරන්, වෛද්‍ය උපුල් ගලප්පත්ති, බි.වයි.ජි රත්නසේකර, වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සභභාගි වී තිබේ.

Visits: 141