පෙබරවාරියේදී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක තුළ වර්ධනයක්

2021 පෙබරවාරි මාසයේදී මෙරට නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මෙන්ම සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පෙබරවාරි මාසයට අදාළ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය නිකුත් කරමින් මහ බැංකුව මේ කරුණු සඳහන් කර සිටියි.

ඒ අනුව 2021 පෙබරවාරි මාසයේදී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 59.4ක් ලෙස සටහන්ව ඇති අතර නිෂ්පාදන සහ නව ඇනවුම්වල සිදු වූ වර්ධනය ඊට හේතු වූ බව පැවසෙයි. එසේම තොග මිලදී ගැනුම් සහ සේවා නියුක්ති උප දර්ශක මෙන්ම ඇනවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ඉහළ යාමද සමස්ත දර්ශකය ඉහළ අගයක පැවතීමට හේතු වී තිබේ.

“එළඹෙන උත්සව සමයේ ඉල්ලුමේ ඉහළයාම අපේක්ෂා කරමින්, විශේෂයෙන්ම ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනය ඉහළ ගිය අතර, නව ඇනවුම් උප දර්ශකයද ඉහළ අගයක් වාර්තා කරන ලදී. තවද, රෙදිපිළි හා නිමි ඇඳුම් අංශයෙහි නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක යහපත් මට්ටමක පැවතුණි.” මහ බැංකුව පවසයි.

මෙහිදී නිෂ්පාදනය ඉහළ යාමත් සමග විශේෂයේම ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයෙහි සේවා නියුක්තිය ඉහළ වේගයකින් වර්ධනය වී තිබේ. කෙසේ වුවද රෙදිපිළි හා නිමි ඇඳුම් නිෂ්පාදන අංශයෙහි සේවා නියුක්තිය පැවැති මට්ටමේම පැවතී තිබේ.

එසේම නිෂ්පාදන වැඩි වේගයකින් වර්ධනය වුවද, චීන අවුරුදු නිවාඩුව හේතුවෙන් සැපයුම් කෙරෙහි ඇතිවිය හැකි බාධා සැලකිල්ලට ගනිමින් වැඩිපුර තොග ඇණවුම් කර තිබීම හේතුවෙන්, තොග මිලදී ගැනුම් අඩු වේගයකින් වර්ධනය වී තිබේ. තවද ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය අඩු වේගයකින් ඉහළ යාම සිදු විය.

මේ අතර සේවා අංශය තවදුරටත් වර්ධනයවීමක් පෙන්නුම් කරමින්, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 පෙබරවාරි මාසයේදී 56.5ක් දක්වා ඉහළ ගොස් ඇත.

නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි දක්නට ලැබුණු ඉහළ යෑම් මෙම වර්ධනය සඳහා දායක වී ඇතැයි මහ බැංකුව පවසයි.

“ප්‍රධාන වශයෙන්, මූල්‍ය සේවා, අනෙකුත් පෞද්ගලික සේවා සහ දේපළ වෙළෙඳාම් යන උප අංශවල දක්නට ලැබුණු වර්ධනයත් සමග සේවා අංශයේ නව ව්‍යාපාර 2021 පෙබරවාරි මාසයේදී ඉහළ යාම සිදු විය.” යනුවෙන් මහ බැංකුව පවසයි.

එසේම COVID-19 සඳහා එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමත් සමග ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වීම පිළිබඳව සේවා සපයන්නන්ගේ සුභවාදී අදහස් ඉහළ යාම හේතුවෙන් අනාගත ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළීබඳ අපේක්ෂාද 2021 පෙබරවාරි මාසයේදී තවදුරටත් ඉහළ ගොස් ඇතැයිද මහ බැංකුව සඳහන් කරයි.

Visits: 71