දර්ශක අගයන් අදත් පහළ බසියි

අද (මාර්තු 16දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයේදී එහි යම් ධනාත්මක ලක්ෂණයක් පෙන්නුම් කළද විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් තුළ පැවැති වාෂ්පශීලීතාව දර්ශක අගයන් ඍණ වීමට හේතු වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහෙත් දිනයේ පසු අවස්ථාවේදී සිදු වූ ගනුදෙනු හරහා එහි යම් ඉහළ යාමක් පෙන්නුම් කළද එය දර්ශක අගයන් ධනාත්මක වීමට තරම් දායකත්වයක් නොසැපයූ බවද එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,050.17ත් ඒකක 7,176.72ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,119.70 ක් බවට පත්විය. එය ඊයේ (මාර්තු 15) දිනයට සාපේක්ෂව ඒකක 40.71 ක් එනම් -0.57%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 39ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 118ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+1.87), සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (+1.65), ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+1.51), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+1.46), ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී GREG (+0.82), හේලීස් පීඑල්සී HAYL (-4.12), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-2.68), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-2.44), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (-2.41), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-2.13) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,842.51 ක අගයක් ගත් අතර, එය ඊයේ (මාර්තු 15) දිනයට සාපේක්ෂව ඒකක 17.30 ක එනම් -0.06%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.23ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (මාර්තු 15) වාර්තා කළ රුපියල් මිලියන 812.45කට සාපේක්ෂව 5% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.11ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 5.16%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 54.43ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 101.28ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 42.86කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 15.18ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 4.25 කි. එසේම ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 40ක් ලෙස සටහන්ව ඇත. මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 224ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 18% ක අගයක් ගෙන තිබේ.

විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 207ක සහ රුපියල් මිලියන 181ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 278