ADANI නිර්මාතෘ ගෞතම් අදානි 2021 මේ දක්වා හොඳම වත්කම් වර්ධකයාලු

ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා සහ හිමිකරුවා වන ගෞතම් අදානි 2021 වසරේ මේ දක්වා කාලය තුළ සිය වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 16.2 සිට ඩොලර් බිලියන 50ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව ඇතැයි වාර්තා පවසයි.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මගින් නිකුත් කෙරෙන Bloomberg Billionaires Index දර්ශකය තුළ මේ කරුණු සඳහන්ව තිබේ.

ඒ අනුව මෙය ලොව කිසිදු ධනවතෙකු හෝ මෙම වසර තුළදී රැස් කරගෙන ඇති වත්කම් හා සාපේක්ෂව එය ඉතා ඉහළ අගයක් වන බවත්, මේ සමගම ඔහු 2021 වසරේ මේ දක්වා විශාලතම වත්කම් වර්ධකයා බවට පත්ව ඇති බවත් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

ගෞතම් අදානි පිළිබඳව මෙරට තුළ කතා බහ ඉහළ ගියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු පිළිබඳ ව්‍යාපෘතියට අදාළ කාරණාවේදීය. මෙරට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම හා එක්ව ඉන්දියාවේ අදානි සමාගම මෙම සංවර්ධන ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිතව තිබූ අතර, ඒ සඳහා වන කැබිනට් අනුමැතියද හිමිව තිබුණි. කෙසේ වෙතත් වරාය සේවක විරෝධය නිසා එම කටයුතු අත්හිටවුණි.

බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව අදානිගේ මෙම වත්කම් වර්ධනය දැනට ලොව අංක එකේ ධනවතුන් වන ජෙෆ් බෙසොස් සහ එලෝන් මස්ක් පරදවන තත්ත්වයක් බවටද පත්ව තිබේ. එහිදී එක් සමාගමක හැරෙන්නට ඔහුගේ අදානි සමූහයේ කොටසක වටිනාකම මේ වසරේදී 50% කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇත.

අද වනවිට අදානි ඉන්දියාව තුළ සිය ව්‍යාපාර සමූහය ව්‍යාප්ත කර ඇති අතර, එහි වරාය, ගුවන් තොටුපොළ, ගල් අගුරු විදුලි බලාගාර මෙන්ම දත්ත මධ්‍යස්ථාන යනාදියද ඇතුළත්ව පවතී. ඒ යටතේ අදානි එන්ටර්ප්‍රයිස් ලිමිටඩ් සමාගම පසුගිය මාසයේදී ඉන්දියාව තුළ ගිගාවොට් 1ක දත්ත මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා වන එකඟතාවකටද පිවිස තිබේ.

ඒ අනුව අද වනවිට අදානි සිය ව්‍යාපාර නව තාක්ෂණය වෙතද යොමු කරමින් සිටින බව වෙළෙඳ පොළ විචාරකයෝ පවසති.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසන ආකාරයට 2021 වසරේ ගෙවුණු කාලසීමාව තුළදී අදානි සමූහ ව්‍යාපාරයට අයත් අදානි ටෝටල් ගෑස් ලිමිටඩ් සමාගමේ කොටසක වටිනාකම 90%කින්ද, අදානි එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් හි කොටසක වටිනාකම 90% කින්ද ඉහළ ගොස් ඇත.

එසේම අදානි ට්‍රාන්ස්මිෂන් ලිමිටඩ් සමාගමේ කොටසක වටිනාකම 79% කින් ඉහළ ගොස් ඇත. අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පේෂල් එකොනොමික් සෝන්ස් ලිමිටඩ් සමාගමේ වර්ධනය 52% කට වඩා වැඩිය. මීට අමතරව අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඩ් සමාගමේ කොටසක වටිනාකම මේ දක්වා 12% කින් ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසරේදී එය 500% කින් වර්ධනය වී තිබුණි.

Visits: 271