HNB වෙතින් KDU රෝහලට විශේෂිත බැංකු ඒකකයක්

හැටන් නැෂනල් බැංකුව ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා අවස්ථාවන් තවදුරටත් පුළුල් කරමින් වේරහැර අලූතින් ඉදිකරන ලද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහලේ විශේෂිත බැංකු ඒකකයක් පසුගියදා ස්ථාපිත කළ බව පවසයි.

අලූතින් ස්ථාපනය කරන ලද මෙම විශේෂිත බැංකු ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, විශ්වවිද්‍යාලයීය රෝහලේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ජයන්ත මෙන්ඩිස්, විශ්වවිද්‍යාලයීය රෝහලේ පරිපාලන අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් ජයන්ත බාලසූරිය, විශ්වවිද්‍යාලයීය රෝහලේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් පී. එස්. තිලකරත්න, විශ්වවිද්‍යාලයීය රෝහලේ අභ්‍යන්තර විගණන නිළධාරී බි‍්‍රගේඩියර් ඞ්. ඩබ්. සී. පෙරේරා, විශ්වවිද්‍යාලයීය රෝහලේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ඒ. එච්. මුල්ලේගම, පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ජයන්ත බලවර්ධන, HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න, HNB ජාල කළමනාකරණය හා ව්‍යාපාර සංවර්ධන අංශ ප‍්‍රධානී සුපුන් ඩයස්, HNB පුද්ගල මූල්‍ය සේවා ප‍්‍රධානී කාංචන කරුණාගම සහ HNB කලාපීය ව්‍යාපාර ප‍්‍රධානී – නිරිත, මහින්ද සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු HNB හා UHKDU හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිට ඇත.

මෙහිදී අදහස් දැක්වූ HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න සඳහන් කර සිටියේ ‘‘අප අපගේ ඩිජිටල් බැංකුකරණ සේවා ඉතා විශිෂ්ට ලෙස ගනුදෙනුකරුවන් අතරට ගෙන යාමට කටයුතු කර ඇති අතර පාරිභෝගිකයන් සමඟ පුළුල්ව හා ඉතා සමීපව කටයුතු කරමින් එවැනි සේවා ජාලයක් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද මනාව අවබෝධ කරගෙන සිටිනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහලේදී විවෘත කරනු ලැබූ මෙම විශේෂිත බැංකු ඒකකය එක් එක් පුද්ගලයාට ආවේණික වූ බැංකු සේවා හා පාරිභෝගික හිතකාමී සේවා සමඟ මිශ‍්‍ර වූ නව ප‍්‍රවේශයක් පාරිභෝගිකයින්ට ලබා දෙනු ඇත. ඒ තුළින් සෞඛ්‍ය වෘත්තිකයන්ට, සිසු සිසුවියන්ට මෙන්ම ඊට පැමිණෙන සියලූ දෙනා හට ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුකරණ සේවා ලබා දීමට අපට හැකි වනු ඇති.’’යනුවෙනි.

එසේම UHKDU වෙත ඇතුළත් කරගනු ලබන වෛද්‍ය සිසු සිසුවියන්ගේ අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ගේ අධ්‍යාපන ණය පහසුකම් සඳහා විශේෂ ප‍්‍රමුඛතාවක් ලබා දීමට ද HNB කටයුතු කර ඇත්තේ අනාගත සෞඛ්‍ය සේවයේ උන්නතිය වෙනුවෙන්ද සුවිසල් දායකත්වයක් සපයමිනි. එසේම එහි සිසු සිසුවියන්ට වැඩිදුර උසස් අධ්‍යාපනය හැදෑරීම හා වෛද්‍ය පුහුණුව සඳහා අවශ්‍ය මුදල් සැපයීමේ පහසුකම් වැඩි කිරීමටද HNB කටයුතු කර ඇත.

මීට අමතරව එම ප‍්‍රදේශයේ සියලූ ගනුදෙනුකරුවන්ගේ බැංකුකරණ අත්දැකීම් තවදුරටත් ඉහළ නංවමින් මෙම නව බැංකු ඒකකය තුළින් මුදල් මෙහෙයුම්, නිෂ්කාශන, පුද්ගලික ණය, ක්‍රෙඩිට් කාඞ් නිකුත් කිරීම යනාදී මූල්‍ය හා ඩිජිටල් බැංකු සේවා රැසක් ලබා දීම ද විශේෂත්වයකි. සෑම වැඩකරන දිනකම පෙ.ව. 9.00 සිට ප.ව 3.00 දක්වා ගනුදෙනුකරුවන් වෙනුවෙන් විවෘතව ඇති මෙම නවීන ඒකකය ගනුදෙනුකරුවන්ව වඩාත් පහසු බැංකුකරණ සේවා වෙත රැගෙන යනු නොඅනුමානය.

Visits: 26