යාපනය චෙන්නායි සෘජු ගුවන් ගමන් කඩිනමින් යළි ඇරඹීමේ තීරණ

කොවිඩ් වසංගතය හේතුවෙන් අත් හිටුවා ඇති යාපනය චෙන්නායි සෘජු ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කිරීමට රජය සුදානම් වන බව පවසයි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආරම්භ කිරීමට අපේක්ෂා කරන සංචාරක ගුවන් බුබුළ සංකල්පය යටතේම මෙය ද ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව  සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

එමෙන්ම රත්මලාන, යාපනය සහ මඩකළපුව අතර අභ්‍යන්තර ගුවන් සේවයක් කඩිනමින් ආරම්භ කීරීමට ද සැලසුම් කර තිබේ. යාපනය හා මඩකළපුව ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස සංවර්ධනය කිරීමට ද අපේක්ෂා කරන බව ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියි.

ඉන්දියානු රාජයේ ආධාර යටතේ රුපියල් මිලියන 300 ක් වැය කරමින් ඉදි කෙරෙන මඩු වන්දනාවේ යන බැතිමතුන් සදහා වූ අතරමැදි නිවාස ඒකක 144 ක ඉදිකිරීම් ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කර තිබේ.  

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා, “ශ්‍රී ලංකාවට වැඩි වශයෙන්ම සංචාරකයන් පැමිණෙන එක් රටක් ඉන්දියාව. මේ වන විට කොවිඩ් වසංගතය නිසා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම නතර වී තිබෙනවා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මේ සදහා  විකල්පයක් ලෙස ගුවන් සංචාරක බුබුළක්  යෝජනා කළා. ඒ සදහා අපේ එකගත්වයත් පළ කළා. ඉතා ඉක්මණින් මෙම ගුවන් සංචාරක බුබුළ හරහා දෙරට අතර සංචාරක කටයුතු ආරම්භ කිරීමට අපි අපේක්ෂා කරනවා.

ඒ වගේම රත්මලාන, යාපනය හා මඩකළපුව අභ්‍යන්තර ගුවන් සේවයක් කඩිනමින් ආරම්භ කිරීමට මේ වන විට අප කටයුතු කරමින් යනවා. යාපනය හා මඩකළපුව ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස සංවර්ධනය කිරීම අපේ ඉලක්කයක්. යාපනය ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට ඉන්දියාව දක්වන සහයෝගය අපි අගය කරනවා. දැනට කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිටුවා ඇති යාපනය හා චෙන්නායි අතර සෘජු ගුවන් ගමන් ද ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට අපේ අවධානය යොමුව තිබෙනවා.” යනුවෙන් පවසා ඇත.

මෙහිදී අදහස් දැක්වු ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සදහන් කලේ ඉන්දියාව හැම විටම ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කරන බවයි. ශ්‍රී ලංකාවේ සංවර්ධනය මෙන්ම රට මුහුණ දෙන ඔනෑම අභියෝගාත්මක අවස්ථාවකදී ඉන්දියාව ශ්‍රී ලංකාවට සිය සහය පල කරන බව සදහන් කර තිබේ.

සංවර්ධන ක්‍රියාදාමයේදී ප්‍රජාවට වැඩි වාසි අත්වන ව්‍යාපෘති සදහා ඉන්දියාව සිය සහය පල කරන බව පැවසූ මහා කොමසාරිස්වරයා සියවස් ගණනාවක් පුරා දිවෙන ශ්‍රී ලංකා සහා ඉන්දියාව අතර මිත්‍රත්තවය ශක්තිමත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවද සහතික වී ඇත.

Visits: 25