ලංකෙම් පීඑල්සී සහ ආගරපතන ප්ලාන්ටේෂන්ස් අතර කොටස් මිලියන 90ක ගනුදෙනුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම සිය පරිපාලිත සමාගමක් වන සීමාසහිත ආගරපතන ප්ලාන්ටේෂන්ස් සමාගමෙහි කොටස් කොටස් මිලියන 90ක් (90,000,000ක්) පෞද්ගලික නිකුතුවක් හරහා මිලදී ගැනීමට සූදානමින් සිටින බව පවසයි.

පසුගියදා පැවැති ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ ගනුදෙනුව පිළිබඳව යෝජනා කෙරී ඇත.

ආගරපතන ප්ලාන්ටේෂන්ස් සතුව ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම තුළ ඇති රුපියල් මිලියන 360ක් පමණ වන ණයක් ආපසු ගෙවීම වෙනුවෙන් මෙලෙස පෞද්ගලික නිකුතුවක් හරහා මෙම කොටස් අලෙවිය සිදු කිරීම සැලසුම කෙරී ඇත. ඒ අනුව මෙම ගනුදෙනුවේදී ආගරපතන ප්ලාන්ටේෂන්ස් සමාගමේ එක් කොටසක වටිනාකම රුපියල් 4ක් බැගින් මිල කෙරී ඇත.

ලංකෙම් පීඑල්සී සමාගම පවසන ආකාරයට අදාළ ගනුදෙනුව 2021 මාර්තු 30 වැනිදා සිදු කිරීමට යෝජනා වී තිබේ. එසේම මෙය 2020/2021 මූල්‍ය වර්ෂය වෙනුවෙන් සබැඳි පාර්ශ්ව අතර (මවු සමාගම සහ එහි පරිපාලිත සමාගමක් අතර) ගනුදෙනුවක් ලෙස වලංගු වන බවත් සමාගම පවසයි.

කෙසේ වෙතත් මෙම ගනුදෙනුව සඳහා ආගරපතන ප්ලාන්ටේෂන්ස් සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇත. ඒ අනුව ලබන මාර්තු 30 වැනිදා පැවැත්වෙන සමාගමේ අති විශේෂ මහා සභා රැස්වීමේදී ඒ පිළිබඳව තීරණය ගනු ඇති බවත් සඳහන් වෙයි.

මෙහිදී අදාළ ගනුදෙනුව වෙත එළැඹීම සම්බන්ධයෙන් හේතු දක්වන ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම, මෙම පෞද්ගලික නිකුතුව හරහා ආගරපතන ප්ලාන්ටේෂන්ස් සමාගම සතුව දැනට පවතින ණයබර අඩු කරගත හැකි වෙනු ඇතැයි පවසයි. එසේම එහි කාරක ප්‍රාග්ධන තත්ත්වය වර්ධනය කර ගැනීමට හැකි වෙනු ඇති බවත් ඒ හරහා සමාගමේ ශ්‍රේෂපත්‍රය ශක්තිමත් කරගැනීමේ අවස්ථාවක් පවතින බවත් සඳහන් කරයි.

මේ අතර ඉහත සඳහන් කළ සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුව පිළිබඳ කමිටුව සඳහන් කරන ආකාරයට මෙම ගනුදෙනුව සාමාන්‍ය වාණිජ නියමයන් අනුව සිදුවන්නක් වන බවත් මේ හරහා කිසිදු ලෙසකින්වත් සමාගමේ පැවැත්මට හෝ එහි සුළුතර කොටස්හිමිකරුවන් වෙත හානියක් සිදු නොවන බවත් සඳහන් කෙරී ඇත.

මේ අතර ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම 2020/2021 වසර සඳහා ආගරපතන ප්ලාන්ටේෂන්ස් සමාගම සමගින් සිදු කර ඇති සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුවල සමස්ත වටිනාකම (ඉහත සඳහන් කළ ගනුදෙනුවද ඇතුළත්ව) රුපියල් මිලියන 722.9ක් බවට පත්ව ඇත.

එසේම ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම විසින් 2020/2021 මූල්‍ය වසර තුළ සිදු කළ සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුවල සමස්ත වටිනාකම (ඉහත සඳහන් කළ ගනුදෙනුවද ඇතුළත්ව) රුපියල් මිලියන 1,092.1ක් බවට පත්ව ඇතැයිද වැඩිදුරටත් සඳහන් කෙරී ඇත.

Visits: 1723