2021 ජනවාරි‍යේ වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 63කින් අඩුවෙයි

මේ වසරේ ජනවාරි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 924ක් වූ බවත්, ඊට සාපේක්ෂව වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඩොලර් මිලියන 1,592ක් වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ජනවාරි මාසයේදී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දත්ත ඉදිරිපත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කරයි.

ඒ අනුව ජනවාරි මාසයේදී මෙරට වෙළෙඳ හිඟය (ආනයන වියදම සහ අපනයන ආදායම අතර වෙනස) ඩොලර් මිලියන 667ක් ලෙස සටහන්ව ඇත. එසේම එය 2020 වසරේ ජනවාරි මාසයේදී වාර්තා කළ වෙළෙඳ හිඟය වන ඩොලර් මිලියන 730ට සාපේක්ෂව ඩොලර් මිලියන 63ක අඩුවීමකි. එම වසරේ ජනවාරියේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1,005ක් වී ඇති අතර වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඩොලර් මිලියන 1,735ක් වී තිබේ.

මෙම තත්ත්වය ඇති වීම සඳහා මූලිකවම ජනවාරි මාසයේදී අපනයන ආදායම පහත වැටුණද එය අභිබවා ආනයන  සඳහා වන වියදම් තවදුරටත් පහත වැටීම හේතු වූ බවද මහ බැංකුව පවසයි. කෙසේ වෙතත් 2020 දෙසැම්බර් මාසයේදී මෙම වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 562ක් ලෙස සටහන්ව ඇත.

මෙහිදී 2021 ජනවාරි මාසයේදී වෙළෙඳ හිඟය වාර්ෂික ලක්ෂමය වශයෙන් අඩුවීම සඳහා මූලිකව දායක වූ ප්‍රධාන අපනයන සහ ආනයන අයිතම කිහිපයකි.

ඒ අතරින් අපනයන ආදායම ඉහළ යාම කෙරෙහි මූලිකවම කුළුබඩු අපනයනය හරහා ලැබුණු ඩොලර් මිලියන 22.6ක ආදායම හේතු වී තිබේ. එසේම යන්ත්‍ර සූත්‍ර හා යාන්ත්‍රික උපකරණ ආදායම ඩොලර් මිලියන 10.6 කින්ද, රබර් නිෂ්පාදිත අපනයන ආදායම ඩොලර් මිලියන 10කින්ද ඉහළ ගොස් ඇත. මීට අමතරව ආහාර, පාන වර්ග හා දුම්කොළ අපනයන ආදායමත් ඩොලර් මිලියන 4.2 කින් ඉහළ ගොස් ඇත.

එසේම ආනයන වියදම අඩුවීම කෙරෙහි ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයනය සඳහා වන වියදම ඩොලර් මිලියන 31.6 කින්ද, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ ආනයන වියදම ඩොලර් මිලියන 42 කින්ද, පෞද්ගලික රථවාහන ආනයන වියදම ඩොලර් මිලියන 62.8 කින්ද සහ රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයන වියදම ඩොලර් මිලියන 64.3 කින්ද යනාදී ලෙස පහත වැටීම බලපා තිබේ.

Visits: 152