ඩො. බිලියන 1.5ක SWAP එකඟතාවට චීනයේ අනුමැතිය – රාජ්‍ය ඇමති කබ්රාල්

ශ්‍රී ලංකා මහ බැංකුව හරහා මෙරට වෙත ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබා දීම සම්බන්ධයෙන් චීනයත් සමගින් වන විනිමය හුවමාරු එකඟතාව (SWAP) සඳහා චීනය අනුමැතිය ලබා දී ඇතැයි මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් තබමින් ඔහු මේ බව පවසා ඇත. “චීනයේ මහජන බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත වෙත යුආන් බිලියන 10ක (ඩොලර් බිලියන 1.5ක) විනිමය පහසුකමක් අනුමත කිරීමට පියවර ගෙන තිබෙන බව සතුටින් දන්වා සිටින්න කැමතියි.” යනුවෙන් එහි සඳහන්ව ඇත.

මෙරට තුළ දරුණු කඩා වැටීමකට ලක්ව තිබෙන විදේශ මුදල් සංචිත ප්‍රමාණය වර්ධනය කරගැනීම සඳහා මෙම ඩොලර් බිලියන 1.5ක විදේශ විනිමය හුවමාරු එකඟතාව අනිවාර්යය වී තිබුණි. ඒ අනුව රාජ්‍යයන් දෙකෙහිම මහ බැංකු අතර ඇති වුණු සාකච්ඡාවල ප්‍රතිඵල ලෙස මෙම එකඟතාවට පිවිස තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ සඳහන් කිරීමට අනුව මෙම මාසය ආරම්භයේදීම මෙරට සතු විදේශ මුදල් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.6ක් දක්වා පහත වැටුණි. එසේම ලබා ගත් ණය ආපසු ගෙවීම යටතේ මේ වසර තුළදී ඩොලර් බිලියන 3.7ක් ආපසු ගෙවීමටද නියමිතව තිබේ. එහි මීළග විශාලතම ණය ආපසු ගෙවීම වන ඩොලර් බිලියනයක් ගෙවීම ලබන ජූලි මාසයේදී සිදු කළ යුතුව ඇත.

මේ අතර රට තුළ ඩොලර් සංචිතය ශක්තිමත් කිරීම සඳහා රජය ඉන්දියාව සමගින්ද මේ වනවිට ඩොලර් බිලියනයක විනිමය හුවමාරු එකඟතාවක් වෙත යොමු වී සිටියි. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් එවැනි එකඟතාවක් හරහා 2020 වසරේදී ඉන්දියාවෙන් ලබා ගත් ඩොලර් මිලියන 400ක් පසුගිය මාසයේදී ආපසු ගෙවීමක්ද සිදු කර තිබේ.

Visits: 341