“විදේශ රටවල අත්අඩංගුවේ ඇති ධීවර යාත්‍රා කඩිනම් නිදහස් කරගන්නවා” – ධීවර ඇමති ඩග්ලස්

ධීවර කර්මාන්තයට මුහුදට ගොස් ජාත්‍යන්තර මුහුද උල්ලංඝනය කිරීම් හා යාන්ත්‍රික දෝෂ හමුවේ විදේශීය ආරක්ෂක අංශ භාරයට පත් මෙරට ධීවර කාර්මිකයන් හා යාත්‍රා කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය සියලු පියවරයන් ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

මෙලෙස හානියට පත් බහු දින ධීවර යාත්‍රා හිමියන් පිරිසක් ඊයේ එම අමාත්‍යංශයට පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා ඔවුන් හමුවේ මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා තමන් ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු ආරම්භ කළ දින සිට මේ දක්වා විදේශ රටවලදී අත්අඩංගුවට පත් ධීවර යාත්‍රා මෙන්ම හදිසි තත්වයන් තුළ මියගිය ධීවර කාර්මිකයන්ගේ මෘතදේහ ලංකාවට ගෙන ඒමට කටයුතු කර ඇතැයි පවසා තිබේ.

ඒ යටතේ පසුගියදා මාලදිවයින මුහුදු තීරයේදී මියගිය ධීවර කාර්මිකයාගේ මෘත දේහය ලංකාවට ගෙන්වීමට කටයුතු කළ අතර, ඒ වෙනුවෙන් රුපියල් 972,847.00ක මුදලක් ධීවර දෙපාර්තමේන්තුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාදීමට කටයුතු කළ බවත් ඉදිරියේදී දැනට විදේශ රටවල අත්අඩංගුවේ පසුවන සියලු ධීවර යාත්‍රා මෙරටට ගෙන්වා දීමට අවශ්‍ය කටයුතු සලසන බවද කියා තිබේ.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුමා ඇතුළු නිළධාරීන් පිරිසක් හා බහුදින ධීවර සංගමයේ නිලධාරීන් පිරිසක් එක්ව ඇත.

Visits: 13