මාස හයකට පසුව අඩුම දෛනික පිරිවැටුම වාර්තා කරයි

අද (මාර්තු 10දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ආයතනික ආයෝජකයන්ගේ නොපැමිණීම සහ තනි පුද්ගල ආයෝජකයන් තුළ පෙන්නුම් කළ විපරම්සහගත බව හේතුවෙන් වෙළෙඳපොළ පසුබෑමක් සිදු වුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එසේම විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් තුළ පැවැති ද්‍රවශීලතාවද ඒ සඳහා හේතු වී තිබේ. ඒ අනුව මේ සියල්ලගේම ප්‍රතිඵල ලෙස අද දිනයේදී පිරිවැටුම මාස හයකට පසුව වාර්තා කළ අඩුම අගයකට පත්වූ බවත් එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,204.71ත් ඒකක 7,313.33ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,212.66 ක් බවට පත්විය. එය ඊයේ (මාර්තු 09) දිනයට සාපේක්ෂව ඒකක 84.22 ක් එනම් -1.15%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 41ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 113ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී AAIC (+1.63), සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී SINS (+1.11), හේකාර්බ් පීඑල්සී HAYC (+1.09), බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (+0.97), ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී JINS (+0.73), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-7.29), සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (-6.59), කාර්සන්ස් කුම්බර්බැච් CARS (-6.06), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-5.98), කොමර්ෂල් බැංකුව COMB (-5.03) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,867.82 ක අගයක් ගත් අතර, එය ඊයේ (මාර්තු 09) දිනයට සාපේක්ෂව ඒකක 42.16 ක එනම් -1.45%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 657.9ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (මාර්තු 09) වාර්තා කළ රුපියල් බිලියන 2.78කට සාපේක්ෂව 77% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.15ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 6.54%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 34.52ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 18.44ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 16.07කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 14.89ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 21.34 කි. එසේම ටීජේලංකා පිඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 7.75ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 146ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 22% ක අගයක් ගෙන තිබේ. බැංකු සහ ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 136ක සහ රුපියල් මිලියන 89ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 384