චීනයේ පානීය ජල බෝතල් ව්‍යාපාරිකයා ආසියාවේම ධනවතා වෙයි

චීනයේ පානීය ජල බෝතල් අලෙවියේ නිරත ව්‍යාපාරිකයෙකු වන සොන්ග් ෂාන්ෂාන් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇතැයි වාර්තා පවසයි. සිය වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 85ක් දක්වා වර්ධනය කරගනිමින් ඔහු මෙම තත්ත්වයට පත්ව තිබේ.

එසේම ඔහු මේ වනවිට ලෝකයේ හත්වැනියට පොහොසත්ම පුද්ගලයා බවටද පත්ව සිටින බව චීනය මගින් ප්‍රකාශයට පත් කරන පොහොසතුන්ගේ ලැයිස්තුව වන හුරුන් වාර්තාව තුළ සඳහන් වෙයි.

සොන්ග් ෂාන්ෂාන් චීනයේ ධනවත්ම පුද්ගලයා බවට පත් වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය. ඒ වන විට ඔහුගේ වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 58.7ක් ලෙස සටහන්ව තිබුණි.

එම අවස්ථාවේදී සොන්ග් ආසියාවේ දෙවැනි ධනවතා බවටද පත්ව සිටියේය. එහි අංක එක ස්ථානය ඉන්දියාවේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්හි හිමිකරු මුකේෂ් අම්බානි වෙත හිමි ව තිබුණි.

Nongfu Spring නම් ඔහුගේ පානීය ජල බෝතල් සමාගම චීන කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගත කිරිමත් සමගින්ම මෙලෙස වත්කම් ඉහළ යාම සිදුව තිබේ. එසේම ඔහු තමන් සතු Wantai Biologist Pharmacy Enterprise නම් එන්නත් සහ ඖෂධ නිෂෟපාදන සමාගමද කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගත කර ඇත. මෙම COVID-19 වසංගත සමයේදී ඒ හරහා නිපදවූ පරීක්ෂණ කට්ටල නිසා සමාගම වෙත වන ඉල්ලුමද ඉහළ යාම සිදු විය.

ඔහුගේ Wantai Biologist Pharmacy Enterprise සමාගම මගින් නිපදවූ පරීක්ෂණ කට්ටලය මගින් විනාඩි 75ක් තුළ ප්‍රතිඵල ලබා දෙන බව පවසයි. එසේම මේ වන විට එම කට්ටල මිලියන 10ක් ලොව පුරා බෙදාහැර තිබේ.

‘හුදෙකලා වෘකයා’ යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වෙන සොන්ග් 1996 වසරේදී චීනයේ නැගෙනහිර ප්‍රදේශයේ සෙජිආන්ග් පළාතේදී මෙම Nongfu Spring පානීය ජල බෝතල් කර්මාන්තය ආරම්භ කර තිබේ.

චීනයේ අලුතින් බිහි වන ධනවතුන් බොහෝ දෙනෙකු තාක්ෂණික සමාගම් හරහා මතු වන පසුබිමක් තුළ පානීය ජල බෝතල් නිෂ්පාදකයෙකු මෙලෙස චීනයේ අංක එකේ ධනවතා බවට පත්විමත් කැපී පෙනෙන අවස්ථාවක් විය. එසේම මේවනවිට ඔහු ආසියාවේම අංක එකේ ධනවතා බවට පත්වීමත් කාගේත් කතාබහට ලක්ව තිබේ.

Visits: 447