කාන්තා දිනය වෙනුවෙන් අද කොළඹ කොටස් හුවමාරුවෙහි සීනුව නාද වෙයි

අද දිනයට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කොළඹ කොටස් හුවමාරුවෙහි සීනුව නාද කිරීමේ අවස්ථාවක් සංවිධානය කෙරෙන බව කොළඹ කොටස් හුවමාරුව මගින් සඳහන් කරයි. ‘ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වන සීනුව නාද කිරීම’ ලෙස මෙය පැවැත්වෙන බව සඳහන් වෙයි.

කොළඹ කොටස් හුවමාරුව සහ ලෝක බැංකු සමූහයේ සාමාජික ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව (IFC) එක්ව මෙම අවස්ථාව සංවිධානය කරයි. මෙවැනි අවස්ථාවක් පැවැත්වෙන්නේ හයවැනි වතාවට වීමද විශේෂත්වයකි.

විශේෂයෙන්ම ආර්ථිකය වෙත මෙන්ම තිරසාර පෞද්ගලික අංශයේ සංවර්ධනය වෙනුවෙන් කාන්තාවගේ දායකත්වය කෙසේද යන්න පෙන්නුම් කිරීම සඳහා මෙම අවස්ථාව මෙලෙස සංවිධානය කෙරේ.

ඒ අනුව අද පෙරවරු 10.30 සිට 11.00 දක්වා කාලය තුළ මෙම විශේෂිත සීනුව නාද කිරීමේ අවස්ථාව කොළඹ කොටස් හුවමාරුවෙහිදී පැවැත්වෙන බවත් එය සජීවීව සිය ෆේස්බුක් පිටුව සහ යූටියුබ් නාලිකාව හරහා සජීවීව විකාශය කරන්නටත් කොළඹ කොටස් හුවමාරුව පියවර ගෙන ඇත.

මෙහිදී කොළඹ කොටස් හුවාමරුවෙහි සභාපති දුමිත් ප්‍රනාන්දු, ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවයේ සාංගමික පරිපාලන නිලධාරී ලෝපා රාහ්මන්, ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති රාසකාන්තා රාසයියා, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි සහ හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි සමූහ විධායක අධ්‍යක්ෂිකා කස්තුරා චෙල්ලරාජා විල්සන් යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාව ඇමතීමටද නියමිතව ඇත.

https://youtu.be/C7LmtaFinNk යන යූටියුබ් නාලිකා වෙබ් ලිපිනය හරහා මෙම අවස්ථාවේ සජීවී විකාශය වෙත සම්බන්ධවීමටද අවස්ථාව හිමි වන බවත් කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 159