ආයෝජක විශ්වාසයේ යළි ඇරඹුමක් පෙන්වමින් දර්ශක අගයන් ඉහළට

පිට පිට දෙවැනි දිනටත් කොළඹ කොටස් හුවමාරුවෙහි දර්ශක අගයන් ඉහළ යමින් අද (මාර්තු 08) වැනිදා සිදු වුණු ගනුදෙනු ගෙවුණු ආසන්න දින කිහිපයට සාපේක්ෂව යම් සාර්ථක මට්ටමකින් නිමාවට පත් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම රටෙහි විදේශ විනිමයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් රජය ගන්නා පියවර පිළිබඳ වන විශ්වාසය ඇතුළුව පොදුවේ වෙළෙඳ පොළ සම්බන්ධයෙන් ආයෝජකයන් තුළ පවතින විශ්වාසය ඊට හේතුව වී තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,094.99ත් ඒකක 7,346.80 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,318.43 ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (මාර්තු 05) දිනයට සාපේක්ෂව ඒකක 263.94 ක් එනම් 3.74%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

එහිදී පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සිදු වුණු සෙලාන් බැංකුවෙහි නිෂ්ඡන්ද කොටස් තුළ ගනුදෙනුව සමස්ත පිරිවැටුම සඳහා 1%ක දායකත්වයක් ලබා දී ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 173ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 25ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+23.09), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+18.33), වැලිබල් වන් පීඑල්සී VONE (+17.97), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+13.14), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+11.57), ඒෂියන් හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (-1.01), යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී UML (-0.46), ප්‍රින්ට් කෙයාර් පීඑල්සී CARE (-0.35), සිට්‍රස් ලෙෂර් පීඑල්සී REEF (-0.31), අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී ALHP (-0.29) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,906.69 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (මාර්තු 05) දිනයට සාපේක්ෂව ඒකක 115.12 ක එනම් +4.12%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.71ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (මාර්තු 05) වාර්තා කළ රුපියල් බිලියන 2.71කට සාපේක්ෂව 30% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.2ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 8.1%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 90.53ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 351.63ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 261.10කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 14.78ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.25 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පිඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 170.06ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 743ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 27% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ප්‍රවාහන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 554ක සහ රුපියල් මිලියන 396ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 352