සිනමන් ලේක්සයිඩ් හෝටලයේ කිහිප දෙනෙකුට COVID-19 – කළමනාකාරීත්වය

සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සමාගම යටතේ ක්‍රියාත්මක කොළඹ සිනමන් ලේක්සයිඩ් හොටලයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකු වෙත COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි එම හෝටලයේ කළමනාකාරීත්වය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

මෙහිදී ඔවුන් සියලු දෙනාම රාජකාරියෙන් බැහැරව සිටිද්දී මෙලෙස COVID-19 ආසාදිත බවට ධනාත්මක ප්‍රතිපල පෙන්වා ඇතැයි සමාගම සඳහන් කරයි.

ඒ අනුව ඔවුන් සේවය කළ ස්ථාන හැකි ඉක්මණින්ම හුදෙකලා කිරීමක් සිදු කළ බවත්, මෙම තත්ත්වයත් සමගින්ම නැවත දැනුම් දෙනතුරු හෝටලයේ ඇතැම් ප්‍රදේශ තුළ සිදු කරන මෙහෙයුම් තාවකාලිකව අත්හිටවූ බවත් කළමනාකාරීත්වය සඳහන් කර සිටියි.

“අපගේ කණ්ඩායමේ සාමාජිකයන් වෙත ඉක්මණ් සුවය අත්වේවායි ප්‍රාර්ථනා කරන අතර, සියලුම අමුත්තන්ගේ සහ කණ්ඩායම් සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම සඳහා දායකත්වය ලබා දෙනවා.” යනුවෙන්ද සිනමන් ලේක්සයිඩ් හෝටලයේ කළමනාකාරීත්වය දැනුම් දෙයි.

මේ අතර සිය අමුත්තන්ගේ මෙන්ම සහෝදර සේවකයන්ගේත් සුරක්ෂිතතාව සහ යහපැවැත්ම සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් හි ප්‍රමුඛතාව බව පවසන එම සමාගම ඉදිරියටත් මෙම COVID-19 වසංගත තත්ත්වය පාලනය සඳහා අවශ්‍ය දැඩි සුරක්ෂිත ක්‍රමවේද සහ සනීපාරක්ෂක පිළිවෙත් කළමනාකාරීත්වය පවසයි.

“මේ යටතේ පූර්ව ආරක්ෂක පිළිවෙතක් ලෙස හෝටලයේ සාමාජිකයන් තුළ නිරන්තරයෙන්ම  පීසීආර් පරීක්ෂණ සිදු කරමින් මෙම වෛරසයෙන් සිදුවන බලපෑම සහ එහි ව්‍යාප්තිය අවම කිරීම සඳහා කටයුතු යොදනවා.” යනුවෙන් ද මෙම නිවේදනයේ වැඩිදුරටත් සටහන්ව ඇත.

Visits: 46